Saturday, October 7, 2017

අප හැරගිය පියා පිළිබඳ මා දුටු සිහින.

  මගේ පියා මියගොස් ඊයේට ( 2017-10-06)  මාසයක් සම්පූර්ණ විය.
ඒ වෙනුවෙන්  ගමේ පංසලට දානයක් පූජා කලෙමු. පියා මෙන්ම මමත් පංසල් යෑමට වැඩි උනන්දුවක් ඇති අය නොවන නිසා එම දාන වලට සම්බන්ධ චාරිත්‍ර තරමක් නුහුරු විය.
  පියා මියගොස් කලක් ගෙවුනද අප නිවසේ  ඉස්තෝප්පුව ලෙස සැලකියහැකි සාලසේ ඉදිරිපස කොටසේ ඇති පුටුවල ඔහු වාඩිවී බුලත් විට සපනු මට තවමත් මැවී පෙනේ.
එම දසුන මට ගෙනෙන්නේ සතුට හා දුක මිශ්‍ර හැඟීමකි. එසේම ඔහු පිලිබඳ සිහිවනවිට තවමත් මගේ පපුවට සියුම් බර ගතියක් දැනේ.


  ඔහු මියගිය පසු ඔහුව සිහිනෙන් දුටු වාර ගණන දන්නා තරමින් දෙකකි. එම සිහින දෙක අමතක වීමට පෙර සටහන් කිරීමට සිතුනි.


1. පළමු සිහිනය දුටුවේ ඔහු මියගොස්  දෙසතියකට පමණ පසුය.

සවස් වරුවක මා නිවසට යනවිට ඉතා උස පුද්ගලයෙක් දොරකඩ සිටගෙන සිටිනු දුටිමි. ඔහුගේ මුහුනේ කිසිදු හැඟීමක් දිස් නොවුනු අතර, මුහුන සහ සිරුර


පියාගේ සිරුරට සහ මුහුනට වඩා වෙනස් විය.

නමුත් ඔහු දුටුවිට ඒ මාගේ මියගිය පියායැයි මට සිතුනි. මට මාගේ පියා මියගොස් නැතැයි සිතුනි.

මම "තාත්තේ" යනුවෙන් ඔහුව ඇමතුවෙමි.

ඔහු නිහඬව නිවස තුලට ගොස් ඇඳක මුනින් අතට වැතිරුනි.

මම ඔහුගේ පිටඅතගෑවෙමි. ඔහුගේ සම ඉතා සිනිදු වූ අතර කොඳු නාරටියේ ඇලිය දිගේ තුනටිය අසල සහ බෙල්ලට පහලින් දික් අතට සැත්කම් කැලැල්


දෙකක් දක්නට ලැබුනි.

සැත්කමක් කර පියාගේ ජීවිතය බේරාගත් වගක් මට සිහිවිය.

සිහිනය නිමවිය.


2. දෙවන සිහිනය දුටුවේ පලමු සිහිනය දැක දින තුන හතරකට පසුය.

ඒ රාත්‍රී කාලයයි.  පසලොස්වක දිනක් වියයුතුය. හොඳින් සඳ පායා පරිසරය ආලෝකවත්ව තිබුනි.

දිවා කල වැටුනු වැස්ස නිසා පරිසරය තෙත් වී තිබුනි. ඒ වනවිට වැස්ස නැතත් පරිසරය සිහිල්විය.

මගේ පියාගේ පුරුද්දක් වූයේ වැසි වැටෙනකල තොප්පියක් පැළඳ

නිවස පිටුපස පස් කණ්ඩියෙන් පස් කපා, බාල්දියකට පුරවාගෙන ගොස් වතුර වලවල් පිරවීම සහ

 දියපාරවල්  දෙපසට දමා දියපාරවල මඟ ඔහුට සුදුසු ලෙස සකස් කිරීමයි.

මෙම සිහිනයේදී ඔහු අත් දෙකට පස් බාල්දි දෙකක් රැගෙන මා දෙසට පැමිනෙනු දුටිමි.

ඔහු මළ බව දැනසිටි මා ඔහු අමතා.

"තාත්තේ ඔයා දැන් විවේක ගන්න,

ඔය වැඩේ මට බාර දෙන්න"

යනුවෙන් කාරුණිකව පැවසුවෙමි.

මා සමඟ කිසිවක් නොකී ඔහු, කිසි විරෝධයක් නොදක්වා පස් පිරවූ බාල්දි දෙක මා අතට දී ආපසු හැරී ඈතට ගොස් අන්ධකාරයට මුසුවිය.

ඉන්පසු ඔහු ගිය දෙසින් ඒ වනවිට නිවසින් බැහැර ගොස් සිටි මගේ මව සුදු සාරියකින් සැරසී මා සිටි දෙසට පැමිනෙනු දිටිමි.

මව පැමිනෙන විට මා අත වූ පස් බාල්දි දෙක අතුරුදහන් ව තිබූ බවක් ගැනද අපැහැදිලි මතකයක් ඇත.

සිහිනය නිමවිය.


මෙම සිහින දෙක ගැන ඔබගේ අදහස් දැනගැනුමට කැමැත්තෙමි.