Monday, September 24, 2018

සාහිත්‍ය මාසයට මගෙන් තෑග්ගක් මා කියැවූ මුල, අග නැති නමකුත් නැති නවකතාව.

    සාහිත්‍ය මාසය නිසා මා කියවන ලද පැරණි නවකතාවක් පලකෙරුමට සිතුවෙමි.

    මෙම ලිපියෙන් දක්වනුයේ කතාවේ සාරාංශයයි. සම්පූරණයෙන් කතාව ලිවීමට තරම් විශ්මිත මතක ශක්තියක් මා තුල නොමැත.

    මෙහි විශේෂත්වය වන්නේ මා පොතේ නම නොදැනීමයි. එයට හේතුව මට පොත හමුවන විට පොතේ පිටකවරය ඉවත්වී තිබීමයි.

  එසේම මෙහි මුල් පිටු 15ක් පමනද අග ඇති පිටුද ඉවත්වි තිබුනි එම නිසා කතාවේ අවසානය කුමක්දැයි අදහසක් නැත.

     කාන්තාවකගේ සිරුර වුවත් සම්පූරණයෙන්ම නිරාවරනය වූවාට වඩා සුන්දරත්වයක් අඩනිරුවත තුල ඇත. එසේම මෙම පොත සම්පූරණයෙන් කියවූවිට ලැබෙන රසයට වඩා වැඩි රසයක් අසම්පූර්ණව කියැවීමෙන් ලැබුවේ යැයි සිතමි.

    මෙම පොත ගැන තොරතුරු  සොයා ගැනීමට නෑදෑයන්ගෙන් විමසා බැලූ නමුත් තොරතුරක් දැනගැනීමට නොහැකි විනි.

    එසේම මෙම ලිපිය ලියන විට පොත මා අසල නැත; මා මෙය ලියනුයේ මතකයෙනි. මා දැන් පදිංචි වී ඇත්තේ අළුත් නිවසකය.

    පොත මගේ ගෙදර හෝ මහ ගෙදර පොත් මිටියක් තුල සැඟවී අස්ථානගතව ඇත. එය සොයා බැලීමට කාලවේලාවක් නොලැබුනි.

    එසේම මෙම ලිපිය ලිවීමේ අරමුන මෙම පොත ගැන දන්නා අයෙක් වෙතොත් ඒ ගැන තොරතුරු දැනගැනීමයි.

එසේනම් කතාව අරඹමු:


   ප්‍රධාන චරිතය වසන්ති වෙයි. පොත ලියා ඇත්තේ උත්තම පුරුෂයෙනි. (සමහරවිට පොත ලියා ඇත්තේ කාන්තාවක් වියහැක, සාමාන්‍යයෙන් උත්තම පුරෂයෙන් කතා ලියන්නේ කාන්තාවන්ය. කොහොමත් මට සිංහල ලේඛනයක් බලා එය ලියා ඇත්තේ පිරිමියෙක්ද, ගැහැණියක්ද යන වග සෑහෙන නිරවද්‍යතාවයකින් නිගමනය කල හැක නමුත් කැත්ලින් ජයවර්ධන සම්බන්ධයෙන් මට වරදී)


    වසන්ති යනු පේරාදෙනි විශ්ව විද්‍යාලයෙන් කලා උපාධියක් හදාරා අවසන්කර ප්‍රතිඵල එනතෙක් බලා සිටින තරුණියකි. ඇය නුවර ප්‍රදේශයේ තේවතු හිමියෙකුගේ දියණියක් වන අතර, මේ වනවිට නතරවී සිටින්නේ ඇගේ  කොළඹ නැන්දාගේ නිවසේය.

    නැන්දා ගේ නම කුමක්දැයි සඳහන් නොවුනි. වසන්ති ඇය අමතන්නේ "ආන්ටි" යනුවෙනි එමනිසා ඇයට ආන්ටි යනුවෙන් හඳුන්වමු. ආන්ටි වසන්තිට කතා කරන්නේ "ඩාලිං" කියාය. ආන්ටි අවිවාහක අයෙකු වන අතර වයස 32ක් වේ (වසන්ති සහ ආන්ටි බැලු බැල්මට අක්කා නංගි වැනිය) ඇය වසන්තිගේ පියාගේ නැඟනියයි. ඇය රැකියාව ලෙස පෞද්ගලික ආයතනයක පෞද්ගලික ලේකම්වරියන් ලෙස කටයුතු කරයි.

    ඇය පදිංචිව සිටිනුයේ තට්ටු නිවාසයකය. එය මුහුදට ආසන්නයේ පිහිටි එකකි. නමුත් එය පිහිටියේ කුමන ප්‍රදේශයකදැයි මතකයක් නැත.


   මෙම කතාව දිවෙනුයේ 70 දශකය තුල යැයි සිතිය හැක. එයට හේතුවක් වනුයේ ආන්ටිගේ නිවසේ රූපවාහිනී යන්ත්‍රයක් නොතිබීමයි වසන්ති නිවසේ තනිව සිටිනවිට කලේ ගුවන්විදුලිය සවන්දීමයි.

    අනිත් කරුණ වසන්ති සහ ආන්ටි නිවසේ සිටිනවිටත් ගමන් යනවිටත් ආන්ටි රැකියාවට යන විටත් මිනි ගවුම් ඇඳීමයි. මිනි ගවුම යන වදන 70 දශකයෙන් පසු ව්‍යවහාරයෙන් ඉවත් වී ඇත. තවත් කරුණක් වනුයේ, ආන්ටි රැකියාවට යනවිට කොණ්ඩය වටාපතක හැඩයට සකස්කලායැයි සඳහනක් තිබීමයි.

    ඔය කියන කොණ්ඩා මෝස්තරය 70 දශකයේ චිත්‍රපටවල හමුවේ.


   තට්ටුනිවාස සංකීරණය තුල වසන්තිගේ නිවසට හරියටම පහලින් නිවසේ පදිංචිව සිටිනුයේ අවිවාහක තරුණයෙකි. මතක හැටියට ඔහුගේ නම නිහාල් ය.

    නිහාල්  නිවාස සංකීරණයේ අන් අය සමඟ අවම ඇසුරක් පවත්වන අයෙකි. වසන්ති, ආන්ටිගේ නිවසට ආ දින ඇගේ බඩුමලු නිවසට ගෙනැවිත් දීමට ඔහු උදව් වුනි.

    ඔහු රාත්‍රී කාලයේ අවදිව සිටින්නෙකි. රාත්‍රියට ඔහුගේ නිවස තුලින් මාරුවෙන් මාරුවට ටයිප්කරන හඬක් සහ ශෝකී වයලීන නාදයක් මාරුවෙන් මාරුවට ඇසේ.

    වසන්තිගේ අවධානය ඔහුට යොමුවුනේ මේ  නාදයන් නිසාය.

    වසන්ති ඔහු ගැන ආන්ටිගෙන් ඇසූ විට ආන්ටි පැවසුවේ නිහාල් මානසික රෝගියෙක් යැයි තමා සිතන බවයි. ඔහු දිනක් වැරදීමකින් ඔහුගේ නිවස යැයි සිතා ඇගේ නිවසට පැමිණ, සිදුවූ අතපසුවීමට සමාව ඉල්ලා පිටත්වූ බව ඈ කීවය.

    ආන්ටි ඔහු හඳුන්වන්නේ පිස්සා යනුවෙනි. එසේම ඔහු ගැන වැඩිදුර කතා කිරීමට ආන්ටි ප්‍රිය නොකරයි.


   දිනක් ආන්ටි වසන්තිගෙන් ඇයට පෙම්වතෙක් සිටීදැයි විමසා විමසුවාය.

    වසන්ති ප්‍රේම සම්බන්ධතා සඳහා උනන්දුවක් ඇති අයෙක් නොවේ සරසවියේදී ඇගේ මිතුරියන් ඇයට ලිංගික දුර්වලතාවක් ඇතැයි විහිළුකර ඇත.

    එම කතාවේදී වසන්ති ආන්ටි විවාහ නොවන්නේ ඇයිදැයි ඇසූවිට ඇය අවිවාහකව සිටීමට හේතුව පැහැදිලි කලාය.


   ආන්ටි පාසල් වියේදී සිසුවෙකු සමඟ පෙම් සබඳතාවක් තිබී ඇත. ඔහු බෞද්ධයෙකි. ආන්ටිලාගේ පවුලේ අය කුමක්හෝ ක්‍රිස්තියානි ආගමක අයයි. එමනිසා ඔවුන්, විශේෂයෙන්ම වසන්තිගේ ආච්චි මෙයට තදින්ම විරුද්ධවිය.

    එසේම වසන්තිගේ ආච්චි ඒ වනවිට හෘදරෝගියෙකි එබැවින් ආන්ටි අකීකරු වුනේනම් ඇය මියයාමට පවා ඉඩ තිබුනි. එමනිසා ආන්ටි පෙම් සබඳතාව නතර කෙරුමටත් එසේම ජීවිතය පුරාවටම අවිවාහකව සිටීමටත් තීරණය කලාය.

    මේ ආන්ටි වසන්තිට කී කතාවය.

    මේ කතාව ඇසූ වසන්තිට ආන්ටි ගැන විශාල ගෞරවයක් ඇතිවිය.


   ආන්ටි රැකියාවට ගියපසු නිවසේ තනිවූ වසන්ති ආන්ටි ගේ පොත් එකතුව පරීක්ෂා කලාය ආන්ටි ඉංග්‍රීසි  මාධ්‍යයෙන් උගත් අයෙකි. ඇය සතුව තිබූ පොත් සියල්ල ඉංග්‍රීසි පොත්ය, ඇය එයින් එකක වූ කෙටිකතාවක් නියැවූවාය.

    එහි නම ෆොටෝග්‍රැෆර්ය.

    එම කතාවේ වූයේ කුරුමිටි ඡායාරූප ශිල්පියෙකු ගැනය. ධනවත් විවාහක කාන්තාවක් ඔහු ලවා තම ඡායාරූප ගන්නේය. ටික කලකින් දෙදෙනා අතර කායික සබඳතාද ඇතිවිය. ඡායාරූප ශිල්පියා ඇයට ආදරය කලේය.

    පසුව සැමියා අතහැර තමා සමඟ එක්වන්නයැයි ඇයට ආරාධනා කලේය. නමුත් ඇයට තමා ගතකරන ජීවිතය අත්හල නොහැක එමනිසා ඇය මෙම ඉල්ලීම ප්‍රතික්ශේප කලේය.

    එවිට ඡායාරූප ශිල්පියා තමා සමඟ එක්නොවුනහොත් තමා සතුව ඇති ඇයගේ නිරුවත් ඡායාරූප ප්‍රසිද්ධ කරන බවට තර්ජනය කලේය.

    ඔහුගෙන් බේරීමට සිතූ කාන්තාව දිනක් මුහුදු වෙරලකදී ඇගේ ඡායාරූප ගැනීමට ගිය අවස්ථාවක ගල්පරයක් මතින් ඡායාරූප ශිල්පියාව මුහුදට තල්ලු කර දැමීය.


   මෙම කෙටිකතාව කියැවීමෙන් පසු වසන්ති දෙදෙනා කෙරෙහිම සංවේගයට පත්වූවාය. නවකතාව පුරාම වසන්තිගේ චරිතය තුල මෙම පමණට වැඩි යැයි හැඟෙන සංවේදී තාවය දැකිය හැක.


   තවත් දිනක වසන්ති සාප්පු සවාරියක් යාමට තීරණය කලාය එහිදී ඇය කලක පටන් කියවන කාන්තා සඟරාවක අළුත් කලාපය මිලදී ගත්තාය. එහි කොටස් වශයෙන් පලවූ නවකතාවක අවසන්  කොටස පලවී තිබුනි.

    එහි කතාව වූයේ දේශපාලනඥයෙක් දිළිඳු තරුණියකට රැකියාවක් දෙන මුවාවෙන් රවටා ගෙනගොස් දූෂණය කිරීමයි. එය කියැවීමෙන් පසුද වසන්ති දැඩිව සංවේගයට පත්විය.

    අවසාන කොටස සමඟ ලේඛකයාගේ ඡායාරූපයක්ද පලවී තිබුණි. ඔහු ඇගේ නිවසට පහල මහලේ පදිංචි තරුණයාය. වසන්ති ඔහුගේ නම දැනගත්තේද එදාය.


   එදින ආන්ටි නිවසට පැමිණි පසු වසන්ති මෙම නකතාව ඇයට පෙන්වූවාය. නමුත් ඇය සිංහල අකුරු කියැවීමට නොදනියි. එසේම සිංහලෙන් වැදගත් පොත් පලවෙතැයි ඇය විශ්වාස කලේද නැත.

    වසන්ති ඇයට කතාව විස්තර කලපසු සිංහල අකුරු නොදැනීම ගැන ඇය කණගාටුවට පත්විය. පසුව කතාවේ රචකයාගේ පින්තූරය පෙන්වු පසු "මේ අර පිස්සා නේද?" යි ඇය පැවසුවාය. කෙසේ වෙතත් ඔහුගැන වැඩිපුර කතා කෙරුමට ආන්ටි උනන්දුවූයේ නැත.


   පසුදින වසන්ති නිහාල් හමුවීමට ඔහුගේ නිවසට ගියාය. වසන්ති දොරට තට්ටුකල විට. දොරහැරිය ඔහු ඇය පැමිණ සිටිනු දැක පුදුමයට පත්විය. ඇය ඔහුගේ නවකතාව ගැන පවසා ඔහුට සුබපැතීය.

    පසුව නිවස තුලට පැමින ඔහුසමඟ සුහද කතා පහත නිරතවිය. ඉන්පසු තම නිවසට ගොස් දොඩම්යුශ වීදුරු දෙකක් සාදාගෙ නිහාල් වෙතට ගෙනගොස් ඔහු සමඟ කතා කරමින් පානය කලාය.

    ඔහුගේ නිවස අපිලිවෙල එකකි.  ඔහු ඒ ගැන සැලකිලිමත් අයෙකු නොවේ.

    සාලය තුල විවාහක යුවලකගේ සහ කුඩා දරුවකුගේ ඡායාරූප කිහිපයක් තිබුණි වසන්ති මේ ගැන විමසූ විට ජනප්‍රිය පාසල් වලට දරුවන් දමා ගැනීමට බලාපොරොත්තුවන දෙමාපියන්ට පදිංචිය ඔප්පු කිරීමට තම නිවස පාවිච්චියට දෙන බවත්, ඒ වෙනුවෙන් මුදල් ගන්නා බවත් දැන්නුවේය.

    කෙසේ වෙතත් තම පෞද්ගලික තොරතුරු වසන්තිට පැවසීමෙන් වැලකීමට ඔහු කටයුතු කලේය.


   මෙයින් පසු ආන්ටි නැතිවිට නිතර නිතර වසන්ති නිහාල් හමුවිය. නමුත් ඒ බව ආන්ටිට දැන්වීමෙන් වැලකුනාය. එයට හේතුව ආන්ටි නිහාල් මානසික රෝගියෙක් ලෙස සැලකීම නිසා ඔහු ඇසුරු කිරීමට විරුද්ධ  වෙතැයි වසන්ති සිතූ නිසාය.


   එක් දිනක් ආන්ටි, වසන්තිගේ පියා වසන්තිට මනාලයෙක් සොයා ඇති බවත් ඒ  සඳහා යනලෙසත් දන්වා සිටියාය. තමාට දැන්ම විවාහ වීමට බලාපොරොත්තුවක් නැති බව පවස‍ා වසන්ති එම යෝජනාව ප්‍රතික්ෂේප කලාය.


   පසු දිනක වසන්තිට බැල්කනියේදී  බැහැරට යන නිහාල් මුන ගැසුනි ඔහු මුහුදු වෙරලට යනබව පැවසීය. ඇයට ඔහු හා එක්වුනි. එහිදී ඔවුන් වැස්සකට අසුවිනි. දෙදෙනා වැස්සෙන් බේරීමට, අතහැර දමනලද පාළු නිවසකට ගොඩවැදුනෝය.

    නිහාල් වසන්තිට ඇඳුම් ගලවා මිරිකා ඇඳගන්නා ලෙස පවසා පිටතට ගියේය. පසුව වැස්ස අවසන් වනතුරු දෙදෙනා තුරුල්වී සිටියෝය. නමුත් එහිදී දෙදෙනා අතර අනවශ්‍ය ස්පර්ශයක් සිදු නොවුනි. එම කරුණ වසන්තිට නිහාල් කෙරෙහි ගෞරවයක් අතිවීමට හේතුවක් විය.


   දිනක් වේලාසන වැඩඇරී නිවසට පැමිණි ආන්ටි. වසන්තිට චිත්‍රපටයක් බැලීමට ආරාධනා කලාය.  එය වැඩිහිටියන්ට සුදුසු ඉංග්‍රීසි චිත්‍රපටයකි. බ්‍රිජට් බ්‍රාඩ්‍රෝ රඟන කාම දර්ශන සහිත එය නැරඹීමේදී වසන්ති දැඩි අපහසුතාවයට පත්විය.

    ඇය ආන්ටි දෙස බැලූවිට ආන්ටි චිත්‍රපටයෙන් සතුටුවන බව දැක ඇය කෙරෙහි මෙතෙක් පැවති ගෞරවය පලුදුවී සියුම් කලකිරීමක් ඇතිවිය.

    චිත්‍රපටය නැරඹීමෙන් පසු දෙදෙනා හෝටලයකින් රාත්‍රී ආහාරය ගත් අතර වසන්තිගේ හිත අවුල් වූ නිසා කෑම රුචිය නැතිවිය. ඇයි ඩාලිං අසනීපයක්ද ආන්ටි ඇසුවාය.


   ආන්ටි සහ වසන්ති නිදන්නේ එකම ඇඳකය.  වසන්ති එදින රාත්‍රියේ  නිදාගැනීමට උත්සාහ කලද චිත්‍රපටයේ දර්ශණ සිහිවනවිට හිත අවුල්වෙන නිසා නිදාගැනීමට අපහසුවිය. පසුව වැසිදින නිහාල්ට තුරුළුවී සිටි අයුරු සිහිපත්කරගත් විට හිත සන්සුන්වී නින්ද ගියේය. 

    පසුව  මැදියම් රැයේදී ඇය  හීනෙන් බියවී අවදිවිය. සාමාන්‍යයෙන් ඔවුන් නිදා ගන්නා විට කාමරය තුල මේස ලාම්පුවක් දල්වා තබයි නමුත් මෙවේලේ එය නිවා දමා තිබුනි. ඇය එය දැල්වූ පසු ආන්ටි කාමරයතුල නැති බව දුටුවාය.

   එසේම නිහාල්ගේ නිවසෙන් සුපුරුදු වයලින් වාදනය හෝ ටයිප් නාදයද නොඇසුනි.

    ඇය නිවස තුල ආන්ටි සොයා බැලු නමුත් ඇය හමු නොවුනි.

   වසන්ති ඇඳ මතට වි කල්පනා කරන්නට විය ඇයට ආන්ටි ගැන අපැහැදිලි හැඟීම් ඇතිවෙයි. එසේම ආන්ටි අනාචාර ක්‍රියාවක් කරන්නේදැයි ඇයට සියුම් සැකයක් ඇතිවිය.

    තරමක් කලගතවූ පසු නිවසේ ඉදිරි දොර විවෘත වන ශබ්දය අසුනි. ආන්ටි නිදන කාමරයට පැමිනියාය. ඇය ඇඳ සිටියේ ඉතා දුහුල් නයිටියකි. එය තුලින් ඇගේ තනපුඩු සහ යටිබඩ පෙදෙසේ තද පැහැය දිස්විය. ඇය වෙතින් විලවුන් සුවඳක්ද හැමුවේය.

    වසන්ති අවදිව සිටිනු දැක  මදක් දොරකඩ නතරවී සිටි ඇය පසුව වසන්ති අමතා.

    "ඔයාට දාඩිය දැම්මේ නැද්ද? ඩාලිං යනුවෙන් ඇසුවාය. "

    "නෑ ආන්ටි"

    "මට ඉවසන්න බැරි තරමට දාඩිය දැම්මා, නයිටිය මාරු කලා, ඕඩිකලොන් ටිකක් ගා ගත්තා. ලයිට් එකත් නිමුවා (එකල තිබුනේ සූත්‍රිකා පහන්ය) බැරිම තැන හුලං වැදෙන්න කියලා බැල්කනියේ පුටුවක වාඩිවෙලා හිටියා.

    දන්නෙම නැතුව පුටුව උඩ නින්ද ගියා."

    වසන්තිට ආන්ටි ගැන තිබුනු සියළු සැක සංකා දුරුවිය. තමා නිකරුනේ ආන්ටිව සැක කිරීම ගැන ඇයට කනගාටුව සිතුනි. ඇය සැහැල්ලු සිතින් නින්දට වැටුනි.


   තවත් දිනක වසන්ති නිහාල්ව හමුවී ඔහුගේ නිවස අස්පස්කිරීමට අවසර ඉල්ලුවාය. ඔහු නිවසේ යතුර ඇයට බාරදී කැමති ලෙස නිවස වෙනස් කරන්න අවසරදී යන්නට ගියේය.

    ඇය ඔහුගේ නිවස අස්පස්කර තමා සතු කොට්ටා උර දෙකක් දමා සහ මේස රෙද්දක්ද එලා නිවස පිලිවෙල කලාය මෙම වැඩ කරන අතර නිහාල් සමඟ විවාහ ජීවිතය ගතකරන අයුරු සිහින මැවුවාය. නමුත් දෙදෙනා තවමත් ආදරය ගැන එක වචනයක්වත් කතාකර නැත.


   නිහාල් පැමිනි පසු නිවස හැඩකර ඇති අයුරු දැක ඒ ගැන වසන්ති බලාපොරොත්තු වූ තරම් උනුසුම් ප්‍රතිචාරයක් දැක්වූයේ නැත. ටික දිනක් වසන්ති මඟහැර සිටි ඔහු දිනක් ඇය හමුවී තමා ගැන බලා පොරොත්තු තබා නොගන්නා ලෙසත්.

    මේ සමාජක්‍රමය තුල අප දෙදෙනාට එක්විය නොහැක වැනි අපැහැදිලි යමක් පවසා ඇය දුන් කොට්ටා උර දෙක සහ මේස රෙද්ද අඩංගු කඩදාසි කවරයක් ඇයට දී සමුගෙන ගියේය.


   එදින දවසම සංවේගයෙන් ගතකල ඇය රාත්‍රී නින්දෙන් අවදිවිනි. එවිට ඇය ආන්ටි අවදිවී සිටිනු දුටුවාය. ආන්ටි වසන්තිට පිටුපා සිටි නිසා ඇය වසන්ති අවදිවූ බව නොදනී. ආන්ටි දුහුල් නයිටියක් ඇඳසිටි අතර අල්මාරිය තුලින් මත්පැන් බෝතලයක් ගත්තාය.

    ඉන්පසු සුවඳ විලවුන් ස්වල්පයක් ඇඟ ගල්වාගෙන විදුලි පහන නිවා නිදන කාමරයෙන් පිටත්විය. ආන්ටිගේ අඩි ශබ්දය නෑසි ගියපසු වසන්ති ප්‍රධාන දොර අසලට ගියාය.

    එය අගුල් දමා නොතිබුනි ඇය දොර හැර බැල්කනියට ගොස් විපරම් කලවිට නිහාල්ගේ නිවසේ විදුලි පහන් දැල්වෙනු දැක ශබ්ද නොදැනෙන ලෙස ඒ වෙතට ගියාය.

    එහි දොර වසා තිබුණි

    පොතේ හැටියට මතක පරිදි : වසන්ති යතුරු හිලට ඇස තබා බැලුවාය. ඇගේ ඇසේ උලක් ඇනුනාක් මෙන් දැනුනි එම උල ඇස පසාරු කරගෙන ගොස් හදවතේ ඇමිනී නතරවී තිබුනි.


   වසන්ති තම නිවසට පැමින ඇඳමත වැතිරී කල්පනා කරන්නට විය

    පොතේ හැටියට මතක පරිදි : මම මෙච්චර ගෞරව කරපු ආන්ටි, නිහාල් කියන්නේ තිරිසන්නු නේද දෙයියනේ..


   මඳ වේලාවකින් ආන්ටි කාමරයට ආවාය වසන්ති නින්දගියාක් මෙන් ඇස් පියාගෙන සිටියාය. කාමරයේ විදුලි බුබුල දැල්වෙනු දැක බියවුන ආන්ටි වසන්ති අසලට ගොස් ඇයව සොලවා අවදි කලාය. 

 වසන්ති ඇමතූ ඇය,

    "හරි වැඩේනෙ ඩාලිං ප්ලැට් එකේ ගෙදරක ගෑනු කෙනෙක් මට කතාකලා ළමයට අමාරුයි කියලා.

    මමත් ගියා අසල් වැසියෝ උනාම බලන්න ඕන නිසා.

   ළමයට වලිප්පුව හැදිලා මම වාහනයක්හොයලා ළමයව ඉස්පිරිතාලෙට පිටත්කරලා ආවා.

යැයි කීවාය."


    මෙතෙක් කතාව කියැවූ ඔබට කීමට ඇත්තේ බොහොම කනගාටුයි පොතේ මෙතැනින් එහාට පිටු ඉරී ගොසින් ඇති බවයි.

කතාවේ අවසානය කෙසේ වන්නට ඇත්දැයි තවමත් කල්පනා කරමි.

සමහරවිට නිහාල් යනු ආන්ටි කියූ ආන්ටිගේ පාසල්වියේ පෙම්වතා වන්නට හැක.

නැතිනම් සම්පූර්නයෙන්ම මෙතෙක් කතාව කනපිට හැරෙන ආකාරයේ අවසානයක් තිබුනා වන්නටත් හැක.

නැතිනම් පොතේ පිටු ගණන නොදන්නා බැවින් මා කියවා අවසන්කලේ පොතේ මැදහරිය පමණක් විය හැක.

මෙම පොත අවම වශයෙන් වසර 30කට වඩා පැරණි එකකි. එමනිසා මේ ගැන දන්නා අයෙකු වෙත්නම් ඉතිරි කොටස පුරවන ලෙස ඉල්ලා සිටිමි.


3 comments:

  1. අනේ මන්දා බන්...

    මොනා වුනත් අලුත් මෙගා ටෙලියකට කියාපු කතාවක්...

    ReplyDelete
  2. this novel is "thushara saha Wasanthi" by Kumara karunarathne

    ReplyDelete
  3. the novel is "Thushara saha Wasanthi" by Kumara Karunarathna

    ReplyDelete