Monday, April 27, 2020

නවීන වාස්තු විද්‍යා රහස්

   මම මේ වනවිට පදිංචිව සිටින්නේ මගේම නිවසකය. එහි සැලැස්මද මූලික වශයෙන් මගේම එකකි.
දැනට නිවසේ යට තට්ටුවෙන් 80% පමණ සාදා  නිමකර ඇත.

   මෙම නිවස සෑදීමේදී ගන්නා ලද බුද්ධිමත් සහ මෝඩ තීරණ විශ්ලේශණයෙන් මෙම වාස්තු රහස්  සොයා ගන්නා ලදී.
(මගේ කීර්ති නාමයට කැළලක් වන බැවින් මෝඩ තීරණ  ගැන සඳහන් කිරීමෙන් වලකිමි.)
මෙහි මා සඳහන් කරනුයේ මට විශේෂයෙන් වැදගත් වූ කරුණු වේ අනෙක් කරුණු  සාමාන්‍ය තර්ක ඥානයෙන් තීරණය කරන්න.
උදාහරණයක් ලෙස ඉඩම ජලයෙන් යටවන එකක්ද වැනි කර්ණු මෙහි සඳහන්කර නැත. ලක්ෂ 25හේ නිවසකට ගැලපෙන උපදෙස් මාලාවකි.

ඉඩම:
   ඉඩම තුලට වෑන් රථයක් ගෙන ඒමට හැකි තරමේ පාරක් තිබිය යුතුයි.
නිවස සැලසුම් කිරීමේදී වෑන් රියක් නිවසට ගෙනැවිත් නැවත කරදරයකින් තොරව  ආපසු හැරවීමටද ඉඩ ඇති තරමේ මිදුලක් තැබිය යුතුය. හොඳම දේ එය කර ඒ සඳහා වැයවූ ඉඩම් ප්‍රමාණය සටහන්කර ගැනීමයි.
   ඉඩම හරහා යන වැසිදිය ගලායන මාර්ග ඇත්දැයි සැලකිලිමත් වන්න. හැකිනම් වැසි දිනකදී ඉඩම පරීක්ෂාකර ඒ ගැන අවබෝධයක් ගෙන  නිවස සැලසුම් කරන්න.
   එසේම නිවසට එන පාර (ප්‍රවේශ මාර්ගය)  නිවසේ සිට ඉහලට බෑවුම් වුණු එකක් වීම අශුභය (වැසි දිනවල එය දිගේ වතුර ගලා ඒමට හැකි නිසා.)

නිවසේ දිශාව:
කාරණා තුනක් සැලකිය යුතුය.
   ඉඩමේ එක් මායිමකට ආසන්නයෙන් එයට සමාන්තරව නිවස ඉදි කරන්න  නැතිනම් ඉඩමේ ප්‍රයෝජනවත්  භූමිය නාස්ති වේ.
   බෑවුම් සහිත ඉඩමක නම්  සමෝච්ච රේඛාවකට  සමාන්තරව සහ ලම්බකව කෝණ පිහිටන ආකාරයට නිවස තනන්න.
   නැගෙනහිර සහ බටහිර දෙසට වැඩියෙන් ජනේල පිහිටන ලෙස නිවසේ දිශාව තීරණය කරන්න
මෙම කොන්දේසි තුන හැකිතාක් සමබරවෙන ලෙස දිශාවක් තෝරාගන්න.
   ඉඩම විශාල වුවත් නිවස ඉඩමේ පැත්තකට වෙන්න මණුෂ්‍ය පාදයේ පිහිටන ලෙස  තනන්න. නැතිනම් අනාගතයේ දරුවන් (ඉඩම බෙදා ගැනීමට) මිනී මරාගනු ඇත.

ලිඳ සහ වැසිකිලිවල:
   කුඩා ඉඩමක නම් විකර්ණ ඔස්සේ පිහිටුවන්න. බෑවුම් ඉඩමක නම් වැසිකිලිවල පහල ස්ථානයක තනන්න.

කුස්සිය:
   කුස්සියේ සිට එලිමහනට දොරක් තිබිය යුතුය. දොරක් සෑදීමට  බැරිනම් බිම් මට්ටමින් අඩි 2X2 පමණ කවුළුවක් සාදා පියනක් සවිකරන්න.
   කුස්සිය තරමක් දිගටි හැඩයකට(එනම් පරිධිය වැඩිවන ලෙස) තනන්න.

සාලය:
 (කවදාවත් එන්නේ නැති) වැදගත් අමුත්තෙකු පිලිගැනීම සඳහා විශාල සාලයක් සෑදීම පරණ සිරිතකි.
 එමනිසා සාලය හැකිතාක් කුඩා කරන්න.

නානකාමර/වැසිකිලි:
   මේවා නිවම තුලම සාදනවා වෙනුවට නිවසට  අඩි කිහිපයක් පිටතින් සාදා එය ඉස්තෝප්පුවකින්  (වැරැන්ඩාවකින්) නිවසට ඈඳන්න. නැතිනම් නිවස තෙත්වනු ඇත.
   ලංකාව හිම වැටෙන රටක් නොවන නිසා නිවස තුලම නාන කාමර සෑදීමේ අවශ්‍යතාවක් නැත.
   එසේම වැසිකිලිය සහ නාන කාමරය කොටස් දෙකක්  ලෙස තනන්න,
   හැකිනම් නාන කොටස වෙනම තනන්න.
   නාන කාමරයේ වහලයේ කුඩා සිදුරක් තනා වීදුරු කැබැල්ලක් සවිකරන්න.

වහල:
   තනි තට්ටුවේ නිවසකට වුවත් කොන්ක්‍රීට් වහලයක් සෑදීම අපතේ නොයන ආයෝජනයකි. (එය රෙදි වේලිමට රදවෙක්ට කුලියට දෙන්න)

ඉදිකිරීම් කාර්ය මණ්ඩලය:

    නිවසේ මූලික ව්‍යුහය  (අත්තිවාරම, වහල/තට්ටුව, බිත්ති) සෑදීම කොන්ත්‍රාත් කරුවෙකු හරහා කරගන්න.
    කපරාරු වැඩ, නාන කාමරය, කුස්සියේ වැඩ ගෘහ ණිර්මාණ ශිල්පියෙකු (මේසන් බාස් කෙනෙකු) ලවා  තමන්ට රිසි පරිදි  කරවාගන්න. මන්ද කොන්ත්‍රාත් කරුවන්  සැලැස්මෙන් පිට වැඩ කිරීමට මැලි කමක් දක්වයි.

   කොන්ත්‍රාත් කරුවෙක්ගේ සේවය ලබා ගන්නේ නම්. මගේ අනුදැනුමෙන් තොරව  පුරාණ වාස්තු සංකල්ප ක්‍රියාත්මක කිරීමෙන් වලකිනලෙස අවධාරණය කරන්න.
සමහරවිට කොන්ත්‍රාත්කරු වාස්තු  සිද්ධාන්තවලට මුවාවී තම වියදම අවුකරන්නට තැත් කරනවා විය හැක.
මගේ නිවසේ  තට්ටුව නිමකලපසු එක් බාල්කයක් කොන්ක්‍රීට් කණුවකට කෙලින්ම සම්බන්ධ වනවා වෙනුවට  කණුවට අඩියක් පමණ ඈතින් හරස්  බාල්කයකට සවිවී ඇතිබව දැක කොන්ත්‍රාත් කරුගෙන් ඇසූවිට ඔහු කීවේ
බාල්ක 4ක් හකට සම්බන්ධවීම අසුභ නිසා එය කල බවයි.  ඒ නිතිය වලංගු වන්නේ ලී බාල්ක වලට විනා කොන්ක්‍රීට් බාල්ක වලට නොවන බව කීමට සිතුනත්. වැරැද්ද හදන්න බැරි නිසා නිහඬ වුනෙමි.

අවසාන වාස්තු රහස වන්නේ හැකිතාත් නෑයන්ගෙන් ඈත් වීම ශුභ බවයි.