Saturday, October 7, 2017

අප හැරගිය පියා පිළිබඳ මා දුටු සිහින.

  මගේ පියා මියගොස් ඊයේට ( 2017-10-06)  මාසයක් සම්පූර්ණ විය.
ඒ වෙනුවෙන්  ගමේ පංසලට දානයක් පූජා කලෙමු. පියා මෙන්ම මමත් පංසල් යෑමට වැඩි උනන්දුවක් ඇති අය නොවන නිසා එම දාන වලට සම්බන්ධ චාරිත්‍ර තරමක් නුහුරු විය.
  පියා මියගොස් කලක් ගෙවුනද අප නිවසේ  ඉස්තෝප්පුව ලෙස සැලකියහැකි සාලසේ ඉදිරිපස කොටසේ ඇති පුටුවල ඔහු වාඩිවී බුලත් විට සපනු මට තවමත් මැවී පෙනේ.
එම දසුන මට ගෙනෙන්නේ සතුට හා දුක මිශ්‍ර හැඟීමකි. එසේම ඔහු පිලිබඳ සිහිවනවිට තවමත් මගේ පපුවට සියුම් බර ගතියක් දැනේ.


  ඔහු මියගිය පසු ඔහුව සිහිනෙන් දුටු වාර ගණන දන්නා තරමින් දෙකකි. එම සිහින දෙක අමතක වීමට පෙර සටහන් කිරීමට සිතුනි.


1. පළමු සිහිනය දුටුවේ ඔහු මියගොස්  දෙසතියකට පමණ පසුය.

සවස් වරුවක මා නිවසට යනවිට ඉතා උස පුද්ගලයෙක් දොරකඩ සිටගෙන සිටිනු දුටිමි. ඔහුගේ මුහුනේ කිසිදු හැඟීමක් දිස් නොවුනු අතර, මුහුන සහ සිරුර


පියාගේ සිරුරට සහ මුහුනට වඩා වෙනස් විය.

නමුත් ඔහු දුටුවිට ඒ මාගේ මියගිය පියායැයි මට සිතුනි. මට මාගේ පියා මියගොස් නැතැයි සිතුනි.

මම "තාත්තේ" යනුවෙන් ඔහුව ඇමතුවෙමි.

ඔහු නිහඬව නිවස තුලට ගොස් ඇඳක මුනින් අතට වැතිරුනි.

මම ඔහුගේ පිටඅතගෑවෙමි. ඔහුගේ සම ඉතා සිනිදු වූ අතර කොඳු නාරටියේ ඇලිය දිගේ තුනටිය අසල සහ බෙල්ලට පහලින් දික් අතට සැත්කම් කැලැල්


දෙකක් දක්නට ලැබුනි.

සැත්කමක් කර පියාගේ ජීවිතය බේරාගත් වගක් මට සිහිවිය.

සිහිනය නිමවිය.


2. දෙවන සිහිනය දුටුවේ පලමු සිහිනය දැක දින තුන හතරකට පසුය.

ඒ රාත්‍රී කාලයයි.  පසලොස්වක දිනක් වියයුතුය. හොඳින් සඳ පායා පරිසරය ආලෝකවත්ව තිබුනි.

දිවා කල වැටුනු වැස්ස නිසා පරිසරය තෙත් වී තිබුනි. ඒ වනවිට වැස්ස නැතත් පරිසරය සිහිල්විය.

මගේ පියාගේ පුරුද්දක් වූයේ වැසි වැටෙනකල තොප්පියක් පැළඳ

නිවස පිටුපස පස් කණ්ඩියෙන් පස් කපා, බාල්දියකට පුරවාගෙන ගොස් වතුර වලවල් පිරවීම සහ

 දියපාරවල්  දෙපසට දමා දියපාරවල මඟ ඔහුට සුදුසු ලෙස සකස් කිරීමයි.

මෙම සිහිනයේදී ඔහු අත් දෙකට පස් බාල්දි දෙකක් රැගෙන මා දෙසට පැමිනෙනු දුටිමි.

ඔහු මළ බව දැනසිටි මා ඔහු අමතා.

"තාත්තේ ඔයා දැන් විවේක ගන්න,

ඔය වැඩේ මට බාර දෙන්න"

යනුවෙන් කාරුණිකව පැවසුවෙමි.

මා සමඟ කිසිවක් නොකී ඔහු, කිසි විරෝධයක් නොදක්වා පස් පිරවූ බාල්දි දෙක මා අතට දී ආපසු හැරී ඈතට ගොස් අන්ධකාරයට මුසුවිය.

ඉන්පසු ඔහු ගිය දෙසින් ඒ වනවිට නිවසින් බැහැර ගොස් සිටි මගේ මව සුදු සාරියකින් සැරසී මා සිටි දෙසට පැමිනෙනු දිටිමි.

මව පැමිනෙන විට මා අත වූ පස් බාල්දි දෙක අතුරුදහන් ව තිබූ බවක් ගැනද අපැහැදිලි මතකයක් ඇත.

සිහිනය නිමවිය.


මෙම සිහින දෙක ගැන ඔබගේ අදහස් දැනගැනුමට කැමැත්තෙමි.


4 comments:

  1. මගේ තාත්තා නැති උනේ 2012 දි. එතකොට මම වැඩ කලේ ගෙදරින් ගොඩක් ඈත වැඩබිමක. කොහොම හරි ට්‍රේනින් කාලේ නිවාඩු ගොඩක් ගන්න බැරි නිසා, මම තාත්ත නැති වෙලා දවස් දහයකින් විතර (හත් දවසේ දානෙන් දවස් තුනකට වගේ පස්සෙ) වැඩට ගියා. යන්න ඕන නිසා ඔහේ ගියාට, මගේ හිත නිකං සංකා වෙලා වගේ තිබුණේ. ප්‍රොජෙක්ට් මැනේජර් සර් නුත් හිත හැදෙන්න වගේ, ලඟදි ඩෙඩ්ලයින් නැති වැඩ ටිකක් දුන්න හෙමින් හෙමින් කරන්න.

    ඔෆිස් එකට වෙලා ඕක කරනකොට හිතට හරි නැති උනාම සයිට් එකේ රවුමක් දාන්න යනව. ඒ උනාට හිත හරිම බර වෙලා තිබුණෙ. එක පාරක් ලෝඩර් එකක් ගියා හොඳටම ලඟින්, ලෝඩර් රියදුරු මාව දැක්කේ නැහැ, ඒක මගේ ලඟින් යනකම් මට සද්දේ ඇහුනේත් නැහැ.

    ඔය වගේ හරිම සංකාවෙන් සතියක් විතර ඉන්නකොට, මම එක දවසක් තාත්තව හීනෙන් දැක්ක. හීනෙන් මම ගෙදර යනකොට තාත්ත සනීප වෙලා ඇවිත්, ගෙදර බුදු පිළිමේ ළඟ අම්ම එක්ක කතා කර කර ඉන්නව. ඇක්සිඩන්ට් එකෙන් තාත්තගේ ඔළුව තුවාල වුණු නිසා, ඔළුවේ කොන්ඩේ ඉවත් කරලා, බෙහෙත් ප්ලාස්ටර් දාල. මම ආපු නිසා මට තාත්තත් එක්ක කතා කරන්න කියල අම්ම ගියා තේ හදන්න.

    එතකොට මම තාත්තට කිවුව "තාත්ත මැරුණ කියල හිතන් අපි හොඳටම ඇඬුව" කියල. එතකොට තාත්ත කිවුව "අඬන්න එපා, අම්මයි අක්කයි බලාගන්න ඕන ඔයා නේ" කියල. එතකොට මට මතක් උනා, තාත්තව එම්බාම් කලාට පස්සෙ සනීප වෙලා ගෙදර එන්නෙ කොහොමද කියල. ඒත් එක්කම මට ඇහැරුණ. දැකල තියෙන්නේ හීනයක් බව දැනිල ටිකක් දුක හිතුණත්, එදායින් පස්සේ අර හිතේ තිබුණු සංකාව නැති වෙලා ගිහින්, එදිනෙදා වැඩ පරණ විදියට කරන්න ශක්තිය ලැබුණ.

    ReplyDelete
  2. මට සාමාන්‍යයෙන් ඔයවගේ පැහැදිලි හීන පෙනුනාම ඒ හීනවල තේරුමක් තියෙනවා.
    පලමු හීනෙට තේරුමක් තියෙනවා.
    අපේ තාත්තාට අංශභාගේ හැදිලා හිටියේ.
    පසුගිය වසරේ එයා ක්‍රමයෙන් සෑහෙන්න දුර්වල වුනා.
    නමුත් එයා මුරන්ඩුයි. ඒ නිසා වැටි වැටි ඇවිද්දා.
    නමුත් මැරෙන්න මාස තුනකට පසු එකවරම ඇවිදින්න බැරිවුනා.
    නමුත් එයාගේ කකුල් වලපනතිබුනා.
    පලමු හීනේ පෙනිලා දිනකීපයකට පසු වෛද්‍ය වරයෙක් කිව්වා වැටුනු වෙලාවක කොඳු ඇටයක් කැඩුනා වෙන්න ඇති කියලා.

    ReplyDelete
  3. අපි තියනවයි කියල නොදන්නා හිත ඇතුලෙ තියන හැඟීම් හා සාමාන්‍ය මතකයේ නැති සිද්ධීන් හීනවලින් මතු වෙනවනෙ.

    ReplyDelete
  4. ඔහොම වෙනව අප්පා .... ඔව්වා මාර සීන්

    ReplyDelete