Wednesday, April 22, 2015

මාගේ මෘදුකාංගයක් (power shell)



Dos විධාන හරහා කලයුතු සමහර කටයුතු වඩා පහසුවෙන් කරගැනීමේ අරමුනෙන් මෙම මෘදුකාංගය තැනුවෙමි. මෙය තවමත් සම්පූර්ණ අත්හදා බැලීමේ තත්වයේ පවතින බව ද, කැමති කෙනෙකුට මෙය වැඩිදියුණු කිරීමට හැකි බව ද, මෙය දියුණු කිරීමට නව අදහස්  ඔබෙන් බලාපොරොත්තු වන බව ද දන්වා සිටිමි.
මුලින් ම,
ප්‍රභව කේතය අඩංගු ගොනුව අන්සිප් කර එහි POWER_SELL\POWER_SELL\bin\Debug‍‍\POWER_SELL.exe ස්ථානයේ පිහිටි ක්‍රියාකාරී ගොනුව හෝ කෙළින්ම භාගත කල ක්‍රියාකාරී ගොනුව මත රයිට් ක්ලික් කර මතුවන මෙනුවෙන් ඇඩ්මිනිස්ට්‍රේටර් ආකාරයෙන් එය ක්‍රියාත්මක කරන්න.










 
ඉන් පසු මතුවන ප්‍රධාන කවුළුව තුල “සැකසුම්” සබැඳිය ක්ලික් කරන්න.

  
ඉන් පසු මතුවන කවුළුව තුලින් “රෙජිස්ට්‍රිය සකසන්න” බොත්තම ඔබන්න.
දැන් ආපසු යන්න. මෙය කල යුත්තේ මුල් වරට පමණි.



දැන් කැමති ෆෝල්ඩරයක් මත රයිට් කලික් කර එයින් “නව විධාන” අයිතමය තෝරන්න.













මෙවිට මතුවන ප්‍රධාන කවුළුව තුල ඉහළින් ම ඇති කොටුවේ ක්‍රියාත්මක ෆෝල්ඩරයේ පථය දක්වා ඇත. අවශ්‍ය නම් එයට වෙනත් ෆෝල්ඩරයක් ඩ්‍රැග් කල හැක.
  
දෙවැනි කොටුව තුල අවශ්‍ය උපදෙස් දක්වන අතර
පහළ කොටස තුල විධාන ඇතුළත් කල හැකි ක්‍රම සකසා ඇත.
පහළ කොටුවට පහළින් ඇති බොත්තම් අතරින් අවශ්‍ය විධානය සහිත බොත්තම ඔබන්න. එවිට එය ඉහළ කුඩා කොටුව මත සටහන් වන අතර එයට අදාල උප විධාන, විධාන බොත්තම් වලට පහළින් දිස්වේ. ඒවා ක්ලික් කර හෝ ඉහල කොටුව මත ටයිප්කර හෝ විධානය සටහන් කරන්න. ඉන් පසු RUN බොත්ම ඔබන්න. විධාන සටහන් කිරීමේදී Dos විධාන දීමේදී අනුගමනය කරන පටිපාටියම යොදාගන්න.
CMD තේරුව හොත් මෙය තුලින් Dos විධාන ක්‍රියාත්මක කල හැක.
දැනට මෙහි ඇති ප්‍රධාන වාසි වනුයේ සිංහල යුනිකේත වලින් ලියූ ගොනු හා ෆෝල්ඩර වල නාමාවලියක් පහසුවෙන් ලබාගත හැකි වීම.
සහ, තනි ෆෝල්ඩරයක් වෙනුවට එකවර පාත් එකක් තැනිය හැකි වීමයි. එනම්
C:\aaa ෆෝල්ඩරය මත C:\aaa\ggg\ccc\ss\ යන ආකාරයේ ෆෝල්ඩර යක් එකවර තැනිය හැකිවීම.
මීට අමතරව Dos විධාන ගැන දැනුම අඩු හෝ විධාන ටයිප් කිරීමට කම්මැලි අයට වඩා පහසුවෙන් වැඩ කර ගත හැකි වීම.

Monday, April 13, 2015

ජාතික ගීය සහ එහි පරිවර්තන
ශ්‍රී ලංකාවේ ජාතික ගීයේ දෙමළ පරිවර්තනය ගැන මගේ මතය දැක්වීමට අදහස් කරමි.
ශ්‍රී ලංකාවේ ජාතික ගීය වන්නේ ආනන්ද සමරකෝන් මහතා විසින් රචනා කල පසුව සුලු සංශෝධනයන්ට ලක් කල සිංහල ජාතික ගීයයි.
ජාතික ගීයේ දෙමළ භාෂා මාධ්‍ය පරිවර්නය එවක අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වූ කේ. කනගරත්නම් මහතා විසින් ද ඉංග්‍රීසි භාෂා මාධ්‍ය පරිවර්තන දෙකින් එකක්‌ එවක ඉන්දුනීසියාවේ රාජ්‍ය තාන්ත්‍රික කටයුතු සිදුකළ සී. ඩබ්ලිව්. ඩබ්ලිව් කන්නන්ගර මහතාත්, අනෙක්‌ ඉංග්‍රීසි පරිවතනය එවක පුරාවිද්‍යා කොමසාරිස්‌වූ මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතා විසින් ද සිදුකොට තිබේ. එමෙන්ම ජාතික ගීයේ දෙමළ භාෂා මාධ්‍ය පරිවර්තනය පණ්‌ඩිත් නල්ලතම්බි මහතා විසින් ද සිදුකළ බවට පිළිගැනීමක්‌ තිබේ.
මේ අනුව ජාතික ගීයට ඉංග්‍රීසි පරිවර්තන දෙකක් ද, දෙමළ පරිවර්තනයක් ද ඇත. නමුත් අප මතක තබාගත යුතු කරුණ නම් ඒවා පරිවර්තන මිස ජාතික ගීය නොවන බවයි. මහින්ද රාජපක්ෂ මහතාට ජනමත විචාරණයකට නො ගොස් ජාතික ගීයේ දෙමළ පරිවර්තනය ගැයීම තහනම් කල හැකි වූයේ ඔහු ඒකාධිපතියෙක් වීම නිසා නොව එය ජාතික ගීය නොවන නිසයි. හිටපු විනිසුරු වරයෙකු වූ විග්නේෂ්වරන් මහතා පවා මේ සම්බන්ධයෙන් නීති තර්ක මතු නොකලේ ඔහු ඒ ගැන දන්නා නිසා විය යුතුයි.
එබැවින් ජාතික ගීය ගායනා කල යුතු අවස්ථාවක පරිවර්තන ගැයීමත්, පරිවර්තන ගීයක් ජාතික ගීය ලෙස හඳුන්වා දීමත් දඬුවම් ලැබිය යුතු වරදක්. මෙවැනි වරදක් වන විට නීතිය ක්‍රියාත්මක කරන ආයතන වලට දැනුම්දීම සෑම ශ්‍රී ලාංකිකයෙකු ගේම වගකීමක්. ජාතික ගීය ගැයීමට පෙර හෝ පසු පරිවර්තන ගීය ගැයීමේ වරදක් තැති අතර ජාතික ගීයට දක්වන ගෞරවය එයට දැක්වීමේ අනිවාර්යය අවශ්‍යතාවක් ද නැත. ජාකික ගීය ගැයිය යුතු විට ජාතික ගීය ලෙස නිල ජාතික ගීය ගැයිය අතර පරිවර්තන ගීයක් ගැයීම ආයතනයේ සාමාජිකයන් හෝ උත්සව සංවිධායක මණ්ඩලය විසින් තීරණය කල යුතුයි.
දෙමල ඉංග්‍රීසි පරිවර්තන වලට අමතරව වැදි, මැලේ, තෙලිඟු (නයි පණික්කි), අරාබි, භාෂා වලින්ද මෙහි පරිවර්තන තිබිය යුතුයි. ඊටත් අමතරව හෙළ හවුලේ නයුවන් හුදු හෙළුවෙන් ජාතික ගී පරිවර්තනයක් තැනීමට කටයුතු කල යුතුයි. වැදි පරිවර්තනයක් අනිවාර්යයෙන් ම තිබිය යුතුයි මන්ද දෙමළ සහ ඉංග්‍රීසි යනු විදේශීය භාෂා වන නමුත් වැද බස ශ්‍රීලාංකේය බසක් වීමයි. ආදිවාසී දිනයේ දී නිල ජාතික ගීයට අමතරව වැදි පරිවර්තනයක් ගැයීමට සැලැස්විය යුතුයි. පිල්ලෙයාන් මහතා පවා එයට කැමති වනු ඇති. පොදු රාජ්‍ය මණ්ඩලයේ සමුළුවක දී ඉංග්‍රීසි පරිවර්තන දෙකෙන් එකක් ද, හෙල හවුලේ රැස්වීමක දී හෙළු ගීයක් ද, පාප් වහන්සේ පැමිණි විටක ලතින් පරිවර්තනයක් ද නිල ජාතික ගීයට අමතරව ගැයීමට සැලැස්විය හැක.
බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන් විසින් කෝල්බෲක් කොමිසමේ නිර්දේශ මත ලංකාවේ එතෙක් දිගුකලක් පැවති රාජකාරි ක්‍රමය අවලංගු කලා. රාජකාරි ක්‍රමය තිබුනේනම් ලංකාව තුල රැකියා වියුක්තියක් ඇති නොවන බවට තර්ක කල හැකියි. එසේම ඉංග්‍රීසි රජය එය අවලංගු කලේ රාජ්‍ය වියදම් අඩුකර ගැනීමේ අරමුනෙන්. මගේ “ආචිරි” කුලයේ මිතුරන් කිහිපදෙනෙක්ම කියා ඇති පරිදි මෙයින් වැඩිම පාඩුව වුනේ “ආචිරි” මිනිසුන්ට. ඒ කෙසේ වෙතත් සුද්දා අවලංගු කල රාජකාරි ක්‍රමය නැවත ඇති කල යුතු යැයි සිහිබුද්ධිය ඇති කෙනෙක් යෝජනා කරන්නේ නෑ. මේ ලෙසම ජාතික ගීයේ පරිවර්තන ගැයීම තහනම් කිරීමත් මේ ආකාරයේ ම ප්‍රගතිශීලී කටයුත්තක්. වගකිවයුතු රජයක් කල යුත්තේ එය දිගටම පවත්වා ගැනීමයි. පරිවර්තන ගැයීමට ඉඩ දීම නිසා අනවශ්‍ය ගැටලු සහ අප්‍රසන්න වාද භේද ඇතිවිය හැකියි. විශේෂයෙන්ම එය වන්නේ සිංහල දෙමළ ජනවර්ග එකට සිටින විටයි, එවිට සිදු වන්නේ සිංහල දෙමල ජනවර්ග වල අයට එකට සිටීමට වඩා වෙන්ව සිටීම පහසු වීමක් එනම් වාර්ගික අනුකලනයට බාධා කිරීමක් දෙමළ වර්ගවාදීන්ට අවශ්‍යත් එයමයි සිංහලයා යනු ශ්‍රී ලාංකිකයාම බැවින් (එය පිළිගැනීම / නො පිළිගැනීම ඔබේ වැඩක්) වාර්ගික අනුකලනයට හේතුවන, ශ්‍රී ලාංකික ජාතියක් ගොඩනැගීමට හේතු වෙන වෙනසක් වෙනුවෙන් කැප කිරීම් කිරීමට සිංහලයන් මැලිවිය යුතු නෑ මන්ද කැප කරන ප්‍රමාණයට වඩා දෙයක් දිගුකාලීනව සිංහලයන්ට ලැබෙනවා. වාර්ගික අනුකලනයට එරෙහි වන දෙයකට සිංහලයන් විරුද්ධ විය යුතුයි. ජාතික ගීයේ දෙමළ පරිවර්තනයට ඉඩ දීමෙන් සිංහලයන්ට අහිමි වන්නේ කුමක් ද යන ගැටලුවට මගේ උත්තරය එයයි.
එසේම අතීතයේ පටන් පරිවර්තන ගැයීමට ඉඩ දී තිබූ නිසා (දෙමළ පරිවර්තනයට පක්ෂ වූවන්ගේ තර්කය) කිසිම වාර්ගික සමඟියක් ඇති නොවුනු බවත් කිව යුතුයි. මෙම කරුණ සම්බන්ධව ජනමාධ්‍යයද තම වගකීම නිසි ලෙස ඉටුකලේ නෑ. මුස්ලිම් සමාජය තුල මලාලා යුසුෆ්, සල්මන් රුෂ්ඩි, තස්ලිමා නස්රීන් ආදීන් සුලු පිරිසක් යොයාගත හැකිනම්, ජාතික ගීයේ දෙමල පරිවර්තනයට විරුද්ධ දෙමළ වාර්ගිකයන් ඊට වැඩි ප්‍රමාණයක් සොයා ගත හැකි විය යුතුයි. ජනමාධ්‍ය (විශේෂයෙන් සිංහල ජනමාධ්‍ය) මෙම පිරිසගේ අදහස්වලට ඉඩක් වෙන් කලේ නෑ. මුස්ලිම් වරුන් ගෙන් නම් අති බහුතරයකට මෙය අවශ්‍ය නෑ ඔවුන්ට ද ජනමාධ්‍යය වල ඉඩක් වෙන් කෙරුණේ නෑ.
මෙම කරුණේ දී අපට සිංගප්පූරුවෙන් ආදර්ශයක් ගත හැකියි. මුස්ලිම් සුළුතරයක් සිටින නමුත් ජාතික කොඩියට ඉස්ලාමීය සංකේත අඩංගු කර ඇති එකම රට සිංගප්පූරුවයි. නමුත් සිංගප්පූරුව යනු මැලේසියාවේ කොටසක් ව තිබී පසුව “බර්ගර් චීන්නුන් ගේ” (මගේ වදනක්) ආධිපත්‍යයට ලක් වූ රටක් මැලේසියානු මුස්ලිම් වරුන්ට සාපේක්ෂව සිංගප්පූරු මුස්ලිම් වරුන්ට ජාතික කොඩියේ හඳ පලුව හැර කිසිවක් ලැබී නෑ.
ඒ ආකාරයට ම අවශ්‍ය නම් ලංකාවේ නිල ජාතික ගීය වශයෙන් දෙමළ බසින් ගීයක් යොදාගැනීමට සිංහලයන් විරුද්ධ විය යුතු නැත. නමුත් ඒ ලංකාවේ දෙමළ ජන වාර්ගිකයන් (තමිල්නාඩු ඩයස්‍පෝරාව ලෙස ද හැඳින්විය හැක) ඒ වෙනුවට ඊට වඩා වැඩි දෙයක් කැප කරන්නේ නම් පමණක්ම ය.
2002-2004 කාලයේදී රනිල් ප්‍රභා ගිවිසුම් ගැසූ යුගය මට සිහිවේ. එකල උතුරේ දෙමළුන් හමුදාවට රෙද්ද උස්සා පෙනවූහ එසේම දකුනේ අපේ ක්‍රිස්තියානි මිතුරන් බෞද්ධ අපට රෙද්ද උස්සා පෙන්වූහ. එම යුගය නැවත උදාවී ඇතිබව පෙනේ. එබැවින් ඉදිරි මැතිවරන වලදී රනිල් මෛත්‍රී හවුල් පැරදවීමට සිංහල බෞද්ධයන් සැමදෙන ක්‍රියාකල යුතුය.

Friday, April 10, 2015

සිංහල බසේ ඇති සුලබ වැරදි වදන්.

සිංහල භාෂාව තුල සුලබ ව යෙදෙන වැරදි වචන කිහිපයක් දැක්වීමට මෙයින් බලාපොරොත්තු වෙමි. මෙහි වැදගත් ම තත්වය නම් මෙතෙක් මේ ගැන නිසි සංවාදයක් ඇති නො වීමයි.

1. පර්චස්, සැන්ඩ්විචස්, සොසේජස් :- මෙම වචන ඉංග්‍රීසි බසෙන් යෙදෙන විට නිතරම බහු වචනයෙන් යෙදෙන නිසා සිංහල බසට එම වදන් එක්වීමේදී ද, බහු වචන ස්වරූපයෙන් ම එක්වී ඇත. නමුත් එම වචන ඒක වචන බවට පත් කිරීමේ දී ගැටලු ඇති වේ. ‘පර්චස්’ බහු වචනයක් නම් ඒක වචනය ‘පර්චසය’ ලෙස ගත හැකි වුවත් ‘සැන්ඩ්විච්’ හා ‘සොසේජස්’ සඳහා මෙසේ කිරීම අසාර්ථක වේ. වෙනත් බසකින් ඒක වචන පදයක් සිංහලට ගැනීමේ දී එය ඉබේටම බහු වචනයක් වන නිසා අමුතුවෙන් බහු වචන කිරීමට අවශ්‍ය නැත. මෙම වදන් සඳහා
‘පර්චස්’ වෙනුවට ‘පර්ච’
‘සැන්ඩ්විචස්’ වෙනුවට ‘සැන්ච්විච’
‘සොසේජස්’ වෙනුවට ‘සොසේජ’
ලෙස ලිවීමට හුරු වීම මඟින් මෙම ගැටලුව පහසුවෙන් විසඳේ.

2. ගියර පෙට්ටිය:- උසස් පෙල තාක්‍ෂණවේදය ඉගැන්වීමේදී ද මෙම වචනය බහුල ලෙස යෙදෙයි. මෙම වදන ‘ගියර් බොක්ස්’ යන ඉංග්‍රීසි යෙදුමේ ඍජු සිංහල පරිවර්තනය වේ. ඉංග්‍රීසියෙන් මෙම වදන පාවිච්චියට ගැනීමට හේතු වූ ඉතිහාසය කරුණු මා නො දනී. නමුත් මේ සඳහා සිංහලෙන් ‘ගියර ඒකකය’ ලෙස යෙදීම වඩාත් සුදුසු බව යෝජනා කරමි. ‘ඔර්ගනික් කෙමිස්ට්‍රි’ සඳහා ‘‍ඓන්ද්‍රීය රසායනය’ වෙනුවට ‘කාබනික රසායනය’ යන නමත් ‘ක්ලොක්වයිස්’, ‘ඇන්ටි ක්ලොක්වයිස්’ වෙනුවට ‘වාමාවර්ත’, ‘දක්ෂිණාවර්ත’ යන වඩා වියත් යෙදුම් සිංහලෙන් පාවිච්චි කෙරෙන බව සලකන්න.

3. සිංහල මාධ්‍ය සිසුන්ට දෙමළ බස ඉගැන්වීමේ දී දෙමළ වචන සිංහල හෝඩිය යොදා ලියන විට සිදු වන සුලබ වරදක් ද මෙහි සඳහන් කිරීමට කැමැත්තෙමි. සිංහල මෙන් නොව දෙමළ බසෙහි ‍ඓ, ‍ඖ අකුරු බහුලව යෙදෙයි. නමුත් දෙමළ බසෙහි බොහෝ විට ‘ඓ’ අකුර උච්චාරණය කෙරෙන්නේ ‘එඉ’ ලෙසිනි. නමුත් සිංහල අකුරු යොදා දෙමළ ලිවීමේ දී මේ වෙනස නො සලකන ආකාරය බොහෝ විට නිරීක්ෂණය කර ඇත්තෙමි. එනම්,
கை ‘කෛ’ ලෙස ලියා ඇතිමුත් එය උච්චාරණය කෙරෙන්නේ ‘කෙයි’ ලෙසය.
මීට අමතරව දෙමළ බසෙහි බොහෝ වචන වල ලියැවෙන සහ උච්චාරණය කෙරෙන ආකාර අතර වෙනස්කම් ඇත (එනම් දෙමළ යනු phonetic බසක් නොවේ). සිංහල අකුරුවලින් දෙමළ ලියද්දී මෙය නො සලකා අකුරෙන් අකුර සිංහලයට හරවන අවස්ථා බහුලය නමුත් නිවැරදි ක්‍රමය වන්නේ දෙමළ උච්චාරණය සිංහල අකුරෙන් ලිවීමයි.

4. කන්‍යා සහෝදරිය:- කන්‍යාව යන වදනට විවිධ භාෂා සහ සංස්කෘතිවල විවිධ අර්ථ දැක්වීම් ඇත. උදාහරණයක් ලෙස මා අසා ඇති අන්දමට ඉන්දියාවේ සමහර ප්‍රදේශවල ගණිකාවන් හඳුන්වන්නේ කන්‍යාවන් ලෙසයි. ලංකාවේ ජනමාධ්‍යවල සුනෙත්‍රා බණ්ඩාරණායක මෙනෙවිය, අනර්කලී මෙනෙවිය වැනි වදන් යෙදෙන විට ප්‍රේක්ෂකයන් උපහාසයෙන් සිනාසෙන අන්දම දැක ඇත්තෙමි. කන්‍යා සහෝදරිය යන වදන ලතින් වැනි බසකින් ගත් ඍජු පරිවර්තනයක් විය යුතු ය (ගියර් පෙට්ටිය වැනි), එසේ නැතිනම් ලතින් බසින් දෙමළ බසටත් එයින් සිංහලටත් පරිවර්තනය වූ වක් වීමට ද හැක (මා මේ ගැන නො දන්නා බවත් දන්නා කෙනෙක් වේ නම් මේ ගැන පැහැදිලි කරන ලෙසත් ඉල්ලා සිටිමි). කෙසේ වෙතත් මෙහි දී කන්‍යාව යන වදන යෙදීම අයෝග්‍ය බව මගේ අදහසයි.
මෙහි දී ‘කන්‍යාව’ යන වචනය යොදන්නේ ‘අනගාරික’ යන අරුතින් නිසා ‘අනගාරික සභා සේවිකාව’ යන වදන හෝ ඊට වඩා කෙටි යෙදුමක් යොදාගැනීම සුදුසු ය.

Saturday, February 7, 2015

"සැබෑ"+ නිදහස

මෙම ලිපියේ අරමුණ ශ්‍රී ලංකාවේ නිදහස් දිනය ගැන ලිවීම නොව, අනාත්මවාදය ගැන මගේ මතය ඉදිරිපත් කිරීමයි.
අනාත්ම වාදය නම් සංකල්පය බෞද්ධයන් විසින් පමණට වඩා සංකීර්ණ කරගෙන ඇත. බොහෝ විට මෙය සාමාන්‍ය ජීවිතයට අදාල නොවන දාර්ශණික සංවාද වලට සීමා වූ දෙයක් වී ඇති අතර, ඊටත් වඩා මෙය වචන හරඹයක් බවට පත්වී ඇති බවද පෙනෙයි උදාහරණයක් ලෙස පුනරුප්පත්තිය, පුනර්භවය වචන දෙක අල්ලාගෙන වාද කිරීම දැක්විය හැක.
මෙම තත්වය නිසා විශේෂයෙන් අන්‍යාගමිකයන් අතර බුදුදහම හාස්‍යයට ලක්වීමටද ඉඩක් ඇත. ඒ නැතත් අනාත්මවාදය කිසිවෙකුට නොතේරෙන මහාප්‍රාණයක් වීම බුදුදහමට හිතකර තත්වයක් නොවේ.
    අනාත්ම වාදය ප්‍රායෝගිකව එදිනෙදා ජීවිතයට අදාල කරගත හැකි පරිදි අර්ථ දැක්වීමට හැකිද යන්න මෙම ලිපියෙන් සාකච්ඡා කරමි. මෙය අනාත්මවාදයට දියහැකි එක් අර්ථ දැක්වීමක් බව සිහිතබාගන්න.
    ලිපියේ මාතෘකාව සලකා බලමු, නිදහස් දිනය ආසන්න වනවිට මෙය සැබෑ නිදහසද? නැතිනම් සැබැ නිදහස කියන්නේ කුමක්ද? යන මාතෘකා ඔස්සේ සංවාද ඇතිවෙනු නිරීක්‍ෂණය කල හැක. මීට සමාන අදහස් නත්තල් දිනය ආසන්නයේදීත් අසන්නට ලැබේ එනම් "මේකද සැබෑ නත්තල" යන මාතෘකාව යටතේ පලවන ලිපියක් නත්තල් දිනට ආසන්න පුවත් පතක පල නොවෙන්නේ කලාතුරකිනි. කලකට පෙර දිවයින පුවත් පතේ සුචරිත් ගම්ලත් මහතාගේ "සති සිතු මිණි" ලිපි පෙලෙහි සැබෑ ප්‍රේමය ගැන ලිපි පළවිය.
මේ ආකාරයට  "සැබෑ නත්තල","සැබෑ නිදහස","සැබෑ ප්‍රේමය","සැබෑ ප්‍රීතිමත් පවුල් ජීවිතය","සැබෑ උගත්කම","සැබෑ සමාජවාදය", සැබෑ අරක, සැබෑ මේක ආදී වශයෙන් ගැනීම බුදු දහමට එකඟද? එසේ සැබෑ දේවල් තිබේද?  "සැබෑ නත්තල" යනු නිර්වාණයද? මේකද? සැබෑ x යනුවෙන් ප්‍රශ්න කරන්නා x තුල නොවෙනස් වන පරම දිව්‍යමය හරයක් (ආත්මයක්?) ඇතැයි විශ්වාස කරයි. සැබෑ ජීවිතයේ x යනුවෙන් හැඳින්වෙන්න තුල මෙම x හි ආත්මය නොමැතිවීම ගැන චෝදනා කරයි. නමුත් x හි ආත්මය කුමක්දැයි එසේ චෝදනා කරන්නා වුව නොදනී. අවසානයේ මෙම අවුල නිසාම දුකට පත්වේ. මෙය ආත්මවාදය විනා අන් කවරක්ද? මෙවැනි ලෞකික දේවල "සැබෑ" දෙය සෙවීම ගෝවා ගෙඩියක් හෝ ළූනු ගෙඩියක පත්‍ර එකින් එක ඉවත්කර හරයක් සෙවීමට සමානය.
මෙයින් අදහස් වන්නේ බෞද්ධයා  "නත්තල","නිදහස","ප්‍රේමය","ප්‍රීතිමත් පවුල් ජීවිතය","උගත්කම","සමාජවාදය" යනාදිය බැහැරකල යුතු බව නොවේ. එයතුල පරම උත්තරීතර අන්තයක් ඇත යන මිත්‍යාව බැහැරකල යුතු බවයි. යම් දෙයක "සැබෑ" යනුවෙන් හරයක් ඇතැයි සිතා එය ලඟා කරගැනීමට වෑයම් කිරීමෙන් ප්‍රයෝජනවත් අතුරුඵල ලැබෙන බව නම් සත්‍යයකි නමුත් මගේ මතය නම් නොපෙනෙන ඉලක්කයක් කරා හඹා යාම වෙනුවට තේරෙන ඉලක්කයක තනාගෙන ඒ වතට යාමට තැත්කිරීමෙන්ද ඉහත දැක්වූ යහඵලම ලඟාකරගත හැකි බවයි.

Thursday, January 8, 2015

ඉදිරි දේශපාලනය ගැන මගේ අදහස (plan B)



   මෙම ලිපිය ලියන විට ජනාධිපතිවරණ අවසන් ප්‍රතිඵලය ලැබී නැති නමුත් මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති වන බවට පැහැදිලි ලකුණු පෙනේ.ඉදිරි දේශපාලනය මෙසේ වෙයි නම් මම එයට කැමැත්තෙමි.
මේ දිනවල කාර්යය බහුල බැවින් හැකි තාක් කෙටියෙන් අදහස් දැක්වීමට බලාපොරොත්තු වෙමි.
මුලින් ම (plan A) පැහැදිලි කරමි.
මෙවර ජනාධිපතිවරණයෙන් මහින්ද ජය ලබා ඊළඟ ජනාධිපතිවරණයෙන් රනිල් හෝ වෙනත් නායකයෙක් එක්සත්ජාතික පක්ෂය නියෝජනය කරතරඟ කර ජනාධිපති බවට පත්වීම මගේ පැතුම විය.එක් නායකයෙක් දිගටම බලයේ සිටීම මම අනුමත නො කරමි. කිසිදු දේශපාලනඥයෙක් අමරණීය නොවන අතර එක් නායකයෙක් යටතේ දිගටම රට පාලනය වුවහොත් සුදුසු දෙවනපෙල නායකත්වයක් නැති වීම නිසා එම පාලනය වෙනස්වුවහොත්රට තුල දරුණු අර්බුද ඇතිවීමේ අවදානමක් පවතී
මෙම ආකාරයට වැඩ සිදුනොවුනු නිසා
ඉදිරියේ දී රටේ දේශපාලනයට ගමන්කලහැකිහොඳම මඟ කෙටියෙන් මෙසේ සටහන් කරමි.
1. මෛත්‍රීපාල මහතා විධායක ජනාධිපති ලෙස දිගටම පාලන බලය හෙබවිය යුතුය නමුත් එහි වාර ගණන
    2කට සීමාකලයුතු අතර අධිකරණයට වගකියන තනතුරක් කලයුතුය.
    මෙරට බහුතරයකට (විශේෂයෙන් සිංහල බෞද්ධ බහුතරයකට) විධායක ජනාධිපති ක්‍රමය අහෝසි
   කිරීමටඅවශ්‍යතාවක් නැති බැවින් විධායක ජනාධිපති ක්‍රමය පවත්වා ගැනීමේ වරදක් නැත.
   දින 100වැඩපිළිවෙළ කුණු කූඩයට දැමිය යුතු ය.
2. එක්සත් ජාතික පක්ෂයෙන් හැකි තරම් මන්ත්‍රීවරු පිරිසක් එක් කර ගෙන සන්ධාන රජයක්පිහිටුවියයුතු ය. 
   එහි දී ආණ්ඩු පක්ෂයේ දේශපාලනඥයින්ගේ විනය ගැන විශේෂයෙන්ම කටයුතු කලයුතුය. එය 
   මෛත්‍රීපාලගේ දේශපාලන අනාගතයටද හිතකර වේ.
3. මහින්ද රාජපක්ෂ මහතා කල යහපත් කටයුතු දිගටම කර ගෙන යා යුතු ය.
4. ආණ්ඩුවේ මහින්ද පාක්ෂිකයන්ගෙන් පලි ගැනීමනොකලයුතු අතර තිස්ස අත්තනායක මහතා ද පක්ෂය තුල
    රඳවා ගැනීමට කටයුතු කලයුතු ය.
5. සිංහල බෞද්ධ ඡන්ද වලින් බහුතරය මහින්දට ලැබී ඇති අතර මෛත්‍රීපාල මහතා බලය ලබා ගත්තේ 
    දෙමළ, මුස්ලිම්ඡන්ද වලින් වෙයි. නමුත් එම ඡන්ද අති බහුතරයක් මෛත්‍රීපාලට ලැබුණු ඍජු ඡන්ද නොව 
    වාර්ගික දේශපාලන පක්ෂහරහා ලත් ඡන්ද වෙයි. මෙය දිර්ඝකාලීනව රටේ ස්ථාවරත්වයට හා 
    මෛත්‍රීපාලගේ දේශපාලන අනාගතයට ද අහිතකර වෙයි එම නිසා මෛත්‍රීපාල ජනාධිපති තුමා සිංහල 
    බෞද්ධ දේශපාලන අභිලාශයන්ටඑකඟ ව කටයුතු කර සිංහල බෞද්ධඡන්ද පදනමක් ගොඩනඟා ගැනීමට
    කටයුතු කල යුතු ය. නැතිනම් නැවතත් දෙමළ ජාතිවාදයේ ප්‍රබෝධයක් ඇතිවී රට ලේවිලක් වීම 
    වැළැක්වියනො හැක.
6. වඩාත් ම වැදගත් කටයුත්ත නම් ජනාධිපති ලෙස උපරිම බලය යොදවා හෝ චන්ද්‍රිකා කුමාරතුංගව නැවත 
    ලන්ඩනයට යැවීමයි. තවත් බණ්ඩාරනායක යුගයක් අවශ්‍ය නැත.

             නව ජනපති තුමනියසලාලක තිස්ස රජුගේ සුභසෙන්පතිගේ මඟ යන්න එය ඔබටත් රටටත් දෙකට ම හිතකර වෙයි.
නැති නම් ඔබ ජාති ද්‍රෝහියෙක් ලෙස ඉතිහාසගතවනු ඇත.
ඔබට සුභ අනාගතයක්!

Tuesday, December 9, 2014

නව වසරට Exel දිනදර්ශණයක්

 කේතය භාගත කරන්න
මෘදුකාංගය භාගත කරන්න


මෙම මෘදුකාංගය මඟින් කැමති වසරක දිනදර්ශණය  Exel  ලියවිල්ලක් ලෙස ගතහැක
මෙය Exel මෘදුකාංගයේ plugin මෘදුකාංගයක් ලෙස තැනීමට බලාපොරොත්තු වුවත්
  plugin තැනීම ගැන දැනුම අඩු නිසා එය කිරීමට නොහැකිවිය. ඒ පිළිබඳව උදව් බලාපොරොත්තු වෙමි.
මෘදුකාංගය ක්‍රියාත්මක කිරීමට පරිගනකයට MS offiece මෘදුකාංග පැකේජය ස්ථාපනය කල යුතුය

Sunday, December 7, 2014

එළාර නම් සිංහල රජතුමා



ජයන්ත චන්ද්‍රසිරි මහතා අධ්‍යක්ෂණය කල මහරජ ගැමුණු චිත්‍රපටය ගැන දැනගත් විට මෙය ලිවීමට සිතුණි. චිත්‍රපටයට විචාර ඉදිරිපත් කෙරෙන විට මෙම අදහස් ද පුයෝජනයට ගැනෙන්නේ නම් යහපති.
දුටුගැමුණු රජතුමා ශ්‍රේෂ්ඨ සිංහල රජෙකු බව අවිවාදිත ය. එසේ නම් එළාර යනු කවරෙක් ද? ජනප්‍රිය මතය ඔහු දෙමළ රජෙකු බවයි. නමුත් වසර 50කට පමණ පෙර මේ මතය අභියෝගයට ලක් කරණ මතයක් ඉදිරිපත් විය එනම් එළාර යනු උතුරු ඉන්දියානු ආර්යයෙක් බවයි. මීට අමතරව එළාර පර්සියානුවෙක් යැයි මතයක් ද ඇත. මෙයට ප්‍රධාන හේතුව එළාර කෙනෙක් ගැන දකුණු ඉන්දියානු පුරාවෘත්තයක් නොමැති වීමයි.
මගේ මතය එළාර ගේ සම්භවය කුමක් වුවත් ඔහු සිංහල  රජෙක් ලෙස සැලකිය හැකි බවයි. එළාර ලංකාව ආක්‍රමණය කර එකල ලංකාවේ ප්‍රධාන රාජ්‍යය වූ “පිහිටි” රටේ රජකම ලබාගත් අතර ඉන් පසු එහි සිටි සිංහල වැසියන්ගේ විශ්වාසය දිනා ගනිමින් යහ පාලනයක් ගෙන යන ලදී. එළාර යටතේ පිහිටි රට විදේශ අධිරාජ්‍යයක ප්‍රාන්තයක් නොවුණු අතරම ඔහු ධනය හා වහලුන් කොල්ලකෑම අරමුණු කරගත් විනාශකාරී ආක්‍රමණිකයෙක් ද නොවීය. සම්භවය කුමක් වුවත් ඔහු සිංහල රජෙකි.
එහෙත් එළාර බෞද්ධයෙක් නොවීය. එළාරගේ අරමුණ වූයේ ලංකාවෙන් බුදු දහම තුරන් කිරීමයි. එහි දී එළාර උපක්‍රමශීලී විය. ඔහුගේ අරමුණ වූයේ ක්‍රමයෙන් සිංහලයන්ට බුදු දහම අමතක කර වීමයි. ඔහුගේ යහපාලනය මෙම අරමුණට ළඟවීමේ උපක්‍රමයක් විය.
මීට සමාන තත්වයක් ස්පාඤ්ඤයේ මුස්ලිම් පාලන සමය තුලද  පැවතින. ස්පාඤ්ඤ මුස්ලිම් පාලකයෝ කතෝලිකයන්ට ආගමික නිදහස දුන් අතර ඔවුන් ද රාජ්‍ය පාලනයට හවුල් කර ගත්හ. එසේම වැඩවසම් යුගයේ කතෝලික රජවරුන්ට වඩා හොඳ යහපාලනයක් පවත්වා ගෙන ගියහ. නමුත් එම මුස්ලිම් පාලනය දිගටම පැවතුණේ නම් ස්පාඤ්ඤ කතෝලිකයින් ක්‍රමයෙන් මුස්ලිම් ආගමට හැරීම සිදු වෙන්නට තිබුනි.
දුටු ගැමුණු රජු මෙම අනතුර දැක බුදු දහම රැකීමට සටන් කල අයෙකි. ඔහු “මාගේ මේ ව්‍යායාමය බුදු සසුන රැකීම වෙනුවෙනි” යනුවෙන් පැවසුවේ නිකමට නොවේ. තමාගේ සටන සිංහල ජාතිය වෙනුවෙන් යැයි දුටුගැමුණු රජු පැවසුවේ නැත. ඔහු එළාරගේ යහපාලනයට වශී නොවුනි. ඔහු යුද පිටියට භික්ෂූන් වහන්සේලා වැඩම කර වූයේ එළාරට සහය දුන් සිංහලයන්ට මානසික බලපෑමක් කිරීමට විය නොහැකි ද? සටනින් පසු බසින විට එළාරගේ සැබෑ ස්වරූපය මතු විය, ඔහු වෙහෙර විහාර කොල්ලකෑමට පෙලඹුණි. සටනින් පසු දුටුගැමුණු රජු එළාර රජුගේ මළසිරුර බුදු දහමට හරවන ලදී. ඉන් පසු එළාරට බෞද්ධ සොහොනක් ද ඉදි කරන ලදී. එසේ කරන ලද්දේ පැහැදිලිව ම දේශපාලන හේතු මත මිස දුටුගැමුණු රජුගේ ආචාරශීලී භාවය මත නම් නොවේ. ඉන් පසු දුටුගැමුණු රජු එළාරගේ ආගමට සම්බන්ධ සියලු සිද්ධස්ථාන සම්පූර්ණයෙන්ම විනාශ කරන ලදී. මේ වන තෙක් ඒ එළාර ගේ ආගමික සිද්ධස්ථානයක නටබුන්  කිසිවක් හමු වී නැත.
යම්හෙයකින් එළාර රාජවංශය දිගටම පැවතුනේ නම් අද වන විට බුදු දහම නො අදහන සිංහල ජාතියක් ගොඩනැගී තිබිය හැක (සමහර විට එම සිංහලයන් නූතන සිංහලයන්ට වඩා බලවත් වීමට ද ඉඩ ඇත.) .  නවකතා කරුවෙකුට දුටුගැමුණු රජු පරාජය වුනු සමාන්තර විශ්වයක් පදනම් කර ගෙන නවකතාවක් වුව ද ලිවිය හැක.
මගේ ඉතිහාස දැනුම මඳ බැවින් ම විසින් මෙම ගෙතූ මෙම කථාවේ අඩුපාඩු තිබිය හැකි වුවත් මට වඩා මෙම ක්‍ෂේත්‍රය ගැන දැනුවත් අයෙක්ට මීට වඩා සාක්ෂි සහිත ව මෙම කථාව ම ඉදිරිපත් කල හැකි යැයි විශ්වාස කරමි.
දුටුගැමුණු එළාර යුද්ධය සිංහල දෙමළ ගැටුමක් යනුවෙන් අර්ථ දක්වා ගැනීමෙන් සිංහල බෞද්ධයින් වන අපි ප්‍රධාන වැරදි දෙකක් කරමු.

  1.       ඊලාම් වාදීන්ට ලංකාවේ නැති දෙමළ ඉතිහාසයක් ගොඩනැඟීමට ආධාර කිරීම
  2.   මුලු ලොවෙහි ම වසන බෞද්ධයන්ගේ (දෙමළ බෞද්ධයන්ගේ පවා) අසහාය වීරයා විය යුතු දුටුගැමුණු රජු ට හිමි ගෞරවය නො ලැබීම. ඇත්තෙන්ම දුටුගැමුණු රජු අශෝක අධිරාජ්‍යයාටද වඩා බුදුදහමට සේවයක් කල අයෙකි.

සිංහල බෞද්ධයන්ට කිසි ප්‍රයෝජනයක් නොමැති රවණා රජෙක් ගැන සුරංගනා කථා ගෙතීමට වඩා මෙම මාතෘකාවෙන් ඉතිහාසය කථාවක් ගෙතීම සිංහල ජාතියට හා විශේෂයෙන් බුදු දහමට ඉතා ම ප්‍රයෝජන වත් වේ.