Saturday, June 6, 2026

මට හම්බුඋන රාජපක්ෂ පවුලේ අය ! நான் சந்தித்த தமிழர்கள்! -by Minon Perera

 මට හම්බුඋන රාජපක්ෂ පවුලේ අය ! நான் சந்தித்த தமிழர்கள்! -by Minon Perera

කොරෝනාවෙන් පස්සේ මමත් ගවුටිත් (මගේ බැජ් එකේ හිටපු රාජපක්ෂ පවුලේ ගෑනු ලමයෙක් ගවුටි කියන්නේ.ගවුටි කියන්නේ මම එයාට ආදරේට කියන නම) රිසර්ච් එක කලේ ඉරණමඩු රිසර්ච් සෙන්ටර් එකේ.අවුරුදු තුනම කැම්පස් කැන්ටිමෙන් අඩුවට කෑවට හතර වෙනි අවුරුද්දේ රිසර්ච් එකට එලියට යන්න උනාම එලියේ කඩවල කෑම ගනන් වැඩියි කියලා තේරුන නිසා අපි දෙන්නා “අයින්කයන්” එකෙන් එක කෑම එකක් අරන් දෙකට බෙදාගෙන කන්න ගත්තා.
උදේ ඉදන් කට්ට අව්වේ ලූණු පාත්ති වලත් රටකජු පාත්ති වලත් වැඩ කරලා.දවල්ට කන්න අපි යන්නේ ඉරණමඩු අයින්කයන් එකට.
කඩේ හිටියේ උස මහත සැර පාට පේන අයිතිකාරයෙක්.
කඩේ වැඩට හිටියෙත් සැරපාටට ඉන්න පිරිමි තුන් දෙනෙක්.
මුල්ලක තිබ්බ මේසෙට වෙලා අපි දෙන්නා එක කෑම එක බාගේ බාගේ කාලා ආයේ රිසර්ච් එකට යනවා.
බඩේ ඉතුරු ටිකට පිරෙන්නේ වතුර.
ආයේ රෑට කෑමක් නෑ, නැත්නම් ඉඳලා හිටලා කනවා.
එච්චරම තමා.
තුන් වෙනි දවසේ කඩේ වැඩ කරන කෙනෙක් අපි දිහා බලන් ඉදලා ලඟට ආවා.
මොන මොනවද ගවුටිගෙන් ඇහුවා.
ගවුටිත් පැකිලි පැකිලි උත්තර දුන්නා.
“මොනවද ඇහුවේ”
“ඇයි මේ එක බත් එක දෙන්නම බෙදාගෙන කන්නේ” ඇහුවා.
ඒ මනුස්සයා එහෙම්ම කඩේ කැශියර් ලඟට ගිහින් මොනවද කිව්වා.මම හිතුවෙම හරි ආයේ කාලා හමාරයි කියලා.
ටිකකින් අර පිරිමි කෙනා ආයේ ආවා.මුලු කඩේම තියෙන කරි පාත්තිරම් ඔක්කොම ටික එයාගේ අතේ තිබුනා.
ඒ පාත්‍තිරම් ඔක්කොම මේසේ උඩින් තියලා.
“ඕන තරම් දාගෙන කන්න”
කියලා එයා ගියා.
දවස් සති මාස ගෙවුනා.
රිසර්ච් එකේ කාලය මාස හයයි.
ඒ මාස හය පුරාම එක කෑම එකකට සල්ලි අරන් අපිට ඇති වෙන්න කන්න අර කරි පාත්තර හැමදාම අපේ මේසෙට ආවා.
එතන හිටියෙත් රාජපක්ෂ පවුලේ කෙනෙක්.
හැමදාම ඒ කඩේට මෙහෙම කාලා පාඩු කරන්න බැරි නිසා අපි ඉරණමඩු චමරියෙන් කන්න පටන් ගත්‍තා.
සමහරදාට ෆීල්ඩ් එකේ ඉදලා ඉදලා කන්න යැවෙන්නේ පරක්කු වෙලා.ඒ යනකොට කෑම තියෙයිද කියලා දන්නේ නෑ.සමහර දාට කෑම ඉවරයි.
එහෙම දවසට කුස්සියේ උයන අක්කා අපි ආපු නැති නිසා ඇතුලෙන් අරන් තියලා තිබුන මාලුපිනි ටික රත් කරලා අපිට ගෙනත් දෙනවා.
ඒ අක්කා මාවත් මම ඒ අක්කවත් දන්නෑ.
හැබැයි මොකක්දෝ අහම්බකාරක බැඳීමක් අපිට තිබුනා.
ඒ අක්කත් රාජපක්ෂ පවුලේ කෙනෙක්.
වීකෙන්ඩ් එකේ චමරිය වහලා නිසා ඉරණමඩු මාකට් එකෙන් එලවලු හාල් පොඩ්ඩක් අරන් උයාගන්න ගිය දාක පොල් ගෙඩියක් ගන්න සල්ලි මදි උනා.
පොල් ගෙඩිය අතට අරන් ගණන් අහල එහෙම්ම තියද්දි කඩේ හිටපු රාජපක්ෂ පවුලේ සීයා
අරන් යන්න, අරන් යන්න… සල්ලි එපා! මේකත් අරන් යන්න කියලා කරි වලට දාන තුනපහ පැකට් එකකුත් අතෙන් තිබ්බා.
ඒත් රාජපක්ෂ පවුලේ කෙනෙක්.
දවසක් කෙලි කමට indoor එක ඉස්සරහා kaju ගහට නැගලා කජු කඩපු දාක පහුවදා බාල්දියක් පිරෙන්න වරකා ගෙනාවේ කේශර අයියා..
අදටත් මිනිස්සු මාව දන්නේ වරකා බාල්දිය නිසා.
ඒ ආදරය පිරුණු වරකා බාල්දිය මට ගෙනල්ලා දුන්නෙත් රාජපක්ෂ පවුලේ කෙනෙක්.
සමහර දාට ඉද්දි ජූස් බාර් එක පැත්තෙන් එද්දි කතා කරලා බනිස් මල්ලක් දුන්නේ ජූස් බාර් එකේ අක්කයි අයියයි.ඒවා කාලා තේ එකක් බීලා ඉදපු අවස්තා ඕන තරම් තිබිලා තියෙනවා.
ඒ දෙන්නත් රාජපක්ෂ පවුලේ අය.
මම හිතනවා හැමදේම තීරණය වෙන්නේ අපි කවුද කියන එක මත.
මිදිවතු බලන්න ආසාවේ යාපනේ ගිහින් මිදිවතු හොයන් ගියාම.ඒවට ඇතුල් වෙන්න තහනම්.වැඩ කරන අයට කතා කරාම මූණ දිහා බලන් ඉදලා “බලලා ඉක්මනට යන්ඩ” කියලා ගේට්ටුව ඇරලා මිදිවත්තට ඇතුල් වෙන්න දුන්නේ රාජපක්ෂ පවුලේ කෙනෙක්.එතනින් නොනැවති මිදිපොකුරු දෙක තුනක් කඩලා අතේ තිබ්බේත් රාජපක්ෂ පවුලේ කෙනෙක්.
අද මට මේ මොහොතේ යාපනේ බස් එකක නැගලා පේදුරුතුඩුවෙන් බැහැලා ගේට්ටුව ඉස්සරහටම ගිහින්
“මම කියන්නැතුවම ආවා”
කිව්වත්.
“එන්ඩ එන්ඩ මේ ඔයාගේ ගෙදර කියලා හිතාගන්ඩ.කාලා ඉන්නවද තේ හදන්ඩද..”
කියලා අහන ගෙදරක් මට තියෙනවා.
“දැන්ම යන්ඩ එපා ඔයා සති දෙක තුනක් ඉදලම යන්ඩ” කියලා සති ගානක් මාව තියාගන්න කැමති පවුලක් මට ඉන්නවා.
මම යාපනේ ගියපු ගමන් මම ආවා මල්ලි කිව්වම,
“අක්කා ඔයා ආවද..මම හවස එනවා” කියලා අම්මා හදපු තල කැවිලියි තව රසකැවිලියි පුරවපු පාර්සලයක් අරන් එන සහෝදරයෙක් මට ඉන්නවා.
“ශාරුව මම මාමලගේ දිහා එක්ක යන්ඩද අම්මා කියලා ඇහුවම.
“රක්ක යන්න” කියන්නේ ශාරුගේ අම්මා.
එයත් රාජපක්ෂ පවුලේ කෙනෙක්.
අන්තිමේ යාපනේ ගියපු දවසේ මම ශාරුගෙන් ඇහුවා අපි හම්බෙන්න කලින් ඔයා සිංහල මිනිස්සු ගැන මොනවද හිතන් හිටියේ කියලා.
ශාරු මාව අදටත් මතක් උනාම හිතන්න සලස්වන උත්තරයක් දුන්නා,
” It is all about what your heart says”
එයාගේ හිත එහෙම නොවුනා නම් අපි සහෝදර බැඳීමකින් බැඳෙන්නේ නෑ.
ගමන අවසානේ එන්න හදනකොට ශාරු තිසරගේ අතින් අල්ලලා
“You are my Aththan” කිව්වා.
අතාන් කියන්නේ කවුද? ඒ මම
අතාන් කියන්නේ මගේ සහෝදරියව බඳින කෙනාට මට වෙන නෑකම.
ඔයා මගේ සහෝදරී එතකොට මේ මගේ අතාන් කියලා තිසරව ආදරෙන් හග් කලා.
ශාරුත් රාජපක්ෂ පවුලේ කෙනෙක්.
ලගඳි යාපනේ ගිය වෙලාවක පාර අයිනේ විශාල ගහක් යට නවත්තලා තිබ්බ මොරිස් මයිනර් වාහනේ දැකලා ෆොටෝ එකක් ගන්න නැවැත්තුවා.
සුදු ඇඳගත්ත වසයක සීයා කෙනෙක් ඇවිත් දොර ඇරලා දීලා ෆොටෝ ගහන්න දීලා එයත් අපි එක්ක ෆොටෝ ගත්තා.
“මගේ දුවලා බැඳලා ගියා.දැන් මෙහෙ කවුරුත් නෑ.ඔයාව දැක්කම මගේ දුවව මතක් උනා.මගේ ගේ මේ ලඟ තියෙන්නේ ඕන වෙලාවක එන්න” කියලා අපි එනකොට කඳුලු බේරෙන ඇස් වලින් අත වැනුව ඒ සියා.
ඒ ගමනින් මාස 7කට විතර පස්සේ දන්නැති අංකෙකින් කෝල් එකක් ආවම
“මම යාපනෙන් කතා කරන්නේ එදා නම්බර් එක දුන්නේ මේ දුව නේද”
“ආ මේ සීයා” කිව්වම මහා හයියෙන් හිනා වෙවී දුක සැප ඇහුවේ සීයා.
එයාට සිංහලත් මට දෙමලත් බැරි නිසා අපේ කතාව ට්‍රාන්ස්ලේට් කලේ සෙල්ලප්පගේ ගෙවල් ලඟ ටිකට් කවුන්ටරේ හිටපු සිංහල දෙමල ඉංග්‍රීසි තුනම දන්න රාජපක්ෂ පවුලේ කෙනෙක්.
ඒ දෙන්නම රාජපක්ෂ පවුලේ අය.
හැමදේම අපි ලෝකේ දිහා බලන විදිහ අනුවයි තීරණය වෙන්නේ.
යාපනෙන් මම ගත්තේ ඩිග්‍රී එක විතරක් නෙවේ.මට එහෙදි හම්බුනේ ජීවිතේ හම්බුන ලස්සනම මිනිස්සු..
අදටත් සති දෙක තුනකට සැරයක් මට කෝල් එකක් එනවා
” කුමාරීරීඊඊ ඔයාට දැන් එන්න කාලේ හරි…”
ඒ මට මැදමුලනදි තාත්තෙක් උන සුබ්‍රමනියම් මාමා.
එහෙ ගිය දාක උදේට ඇහෙරෙනකොට තේ එක ගේන්නේ සුබ්‍රමනියම් මාමා
ඒකත් හරි තාලෙට අත් දෙකෙන් තේ එක අල්ලගෙන
” කුමාරී…. තේ ගෙනාවා”
මගේ ජීවිතේ ඕන තරම් පෙට් නේම් මට තිබිලා තියෙනවා ඒත් මට කුමාරි කියන්නේ සුබ්‍රේ මමා.ඒක මට හදවතට දැනෙන දෙයක්.කුමාරි කියන්නේ කොච්චර කොමන් නමක් උනත් සිංහල භාශාවේ තියෙන ඒ වචනේ මට හදවතටම දැනුනේ එදා.
මම යාපනේ කරක් ගැහුවට රාජපක්ෂ පවුලේ අය එක්ක කතා කලාට භාශාව මට කිසි දාක ප්‍රශ්නයක් වෙලා නෑ.
යාපනේදි මට අතරමං නොවෙන්න පාර පෙන්නලා තියෙන්නේ රාජපක්ෂලා.
කලින් පාර ප්‍රෙඩේටර් වගේ කොණ්ඩේ ගොතාගෙන යාපනේ ගියාම දෙමල විතරක් දන්න නැන්දා මාව ගම ඇතුලට එක්කන් ගියේ සිංහල විතරක් දන්න මට ඒ ගම පෙන්නන්න.
මුලින් මාව දැකපු මිනිස්සු මං දිහා අමුතුවට බැලුවම නැන්දා හරි උජාරුවෙන් මාව අඳුන්වල දුන්නම මාව ආදරෙන් පිලිඅරන් ගෙවල් වල තියෙන පලතුරු අරවා මේවා ගෙනත් දුන්නේ රාජපක්ෂ පවුලේ අය.
මේ කියපු හැම කතාවකටම සාක්ශි ඒ මොහොතවල්වල මං ලඟ හිටපු අය දන්නවා.
අදටත් ගෙදර දුවන්නැතුව මට දුවන්න හිතෙන්නේ යාපනේ.
මේ ලෝකේ ගොඩක් ලොකුයි.
ඔය පහල ෆොටෝ එකේ තියෙන්නේ දවසක් අපිට රාජපක්ෂ පවුලේ කෙනෙක් කැම්පස් එකේ තිබුන ඉවෙන්ට් එකක් ඉවර වෙලා දුන්න කෑම වගයක්..
මූණු අයින් කලාට මේ කෑම වේල කාපු මගේ යාලුවන්ට මතක ඇති මේසිදුවීම.
එපා කියද්දිත් තියෙන ඔක්කොම කරි පාත්තිරම් මේසෙට ගොඩ ගහලා කන්න දුන්නෙත් රාජපක්ෂ පවුලේ අය කීප දෙනෙක්.
මම කැම්පස් ගියාට මට ඕන උනේ නෑ ඒ හතර කොණ බලල ගෙදර එන්න.
කැම්පස් එක කියන්නේ මුලු යාපනේ එක්කම් ගත්තම හරි පොඩි තැනක්.
කැම්පස් යන නංගිලා මල්ලිලට කියන්නේ ඔය ගේට්ටුවෙන් එලියට ඇවිල්ලා මිනිස්සු එක්ක කතා කරන්න හරි ලස්සන කතා එයාලා ලඟ තියෙනවා.
භාශාව ප්‍රශ්නයක් නෑ.
අදටත් මම රාජපක්ෂලට චන්දෙ දිලා නෑ ඒත් මේ දැන් මැදමුලන ගියත් මට කාමරයක් තියෙනවා.
අද කට්ටියක් කේලම් කිපයක් අල්ලගෙන මුලු පවුලක් ගැනම තීන්දු දෙනවා.

ඒ නිසා මම කවදාවත් එක මනුස්සයෙකුගේ වැරැද්දකින් මුලු පවුලක් මනින්නෙ නෑ.
මිනිස්සුන්ව තීරණය වෙන්නේ එයාලා කතා කරන භාෂාවෙන් නෙවෙයි. එයාලා ඉපදුනු පවුලෙන් නෙවෙයි.
It is all about what your heart says.
මට රාජපක්ෂලා උගන්නපු ලොකුම පාඩම ඒක

No comments:

Post a Comment