Sunday, January 6, 2013

තේවත්ත බැසිලිකා දෙව් මැදුර අධිරාජ්ය.වාදයට කඩේ යාමක් ද?


තේවත්ත බැසිලිකා දෙව් මැදුර අධිරාජ්‍යවාදයට කඩේ යාමක් ද?
මෙම ලිපිය කිසිසේත්ම කතෝලික ආගමට එරෙහිව ද්වේශ සහගත ව ලියනලද්දක් නොවේ. යම් කතෝලික සහෝදරයෙක් මෙයට එකඟ නොවෙයි නම් මෙහි දක්වන කරුණු නිවැරදි කරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. එසේම මෙම කරුණු නිවැරදි නම් ඒ ගැන එකඟ වීමට තරම් නිහතමානී වනු ඇතැයි බලාපොරොත්තු වෙමි.
තේවත්ත බැසිලිකා දෙව් මැදුර ඉදිකරන ලද්දේ දෙවන ලෝක යුද්ධ සමයේ මෙරට සිටි ප්‍රධාන කතෝලික පූජකවරයෙක් වූ බාරයක් ඔප්පු කිරීමටයි (මට ඔහුගේ නම මතක්කරගැනීමට නොහැකි වීමගැන කනගාටු වෙමි ඔහුට පසු කලක වතිකානුවේ ඉහල තනතුරක් ලැබුනි).
 එකල ජපන් අධිරාජ්‍යවාදීන් හා බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය වාදීන් ආසියාවේ බලය ලබාගැනීමට එකිනෙකා හා ගැටුනු යුගයයි. ජපනුන් සිංගප්පූරුව හා මාලදිවයින ද යටත් කර ගෙන ලංකාව ආක්‍රමනයට තීරණය කර ගෙන සිටි යුගයයි.
 මෙකල මෙම පූජකවරයා ජපන් බ්‍රිතාන්‍ය සටනින් බ්‍රිතාන්‍ය දිනවන ලෙස සාන්ත අන්තෝනි තුමාට බාරවිය. සටනින් බ්‍රිතාන්‍ය ජයගත් නිසා බාරය ඔප්පු කිරීමට තේවත්ත බැසිලිකා දෙව් මැදුර ඉදි කරනලදී.
මෙහි දී පූජකවරයාගේ ක්‍රියාව විචාරය කලහැකි ආකාර දෙකකි,
1.       මනුස්ස‍යෙක් ලෙස.
2.       කතෝලිකයෙක් ලෙස.
මනුස්සයෙක් ලෙස සලකා බැලුවොත් (විශේෂයෙන්ම සිංහලයෙක් ලෙස) ජපන් අධිරාජ්‍යට වඩා බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය හොඳයැයි කිව හැකි ද ?
ජපනුන් තම යටත්විජිතවල ජනයාට අමානුෂික ලෙස සැලකූ  බව සැබෑ ය. (සමහර විට ජපානය පරාජය වූ නිසා ජයග්‍රාහකයන් පරාජිතයන් ව හෙළාදැකීමට මෙම සිද්ධි අතිශයෝක්තියෙන් වාර්තා කරනවා විය හැක.) අනෙක් අතට සාමාන්‍යෙයන් ඕනෑම දේශපාලන අධිකාරයක් තම බලය අභියෝගයට ලක් වී ඇති විට ප්‍රචන්ඩ වීමත්, බලය තහවුරු වී ඇති විට වඩා මානුෂික වීමත්, බලාපොරොත්තු විය හැක.
නමුත් ඉංග්‍රීසීන් මානුෂික අධිරාජ්‍යවාදීහුද? මෙරට 1818 නිදහස් සටන මර්දනය කල ආකාරය ම ඔවුන්ගේ තරම පෙන්නුම් කරයි. එසේම දෙවන ලෝක යුද්ධ සමයේ දී ම බෙංගාලයේ ඇතිවූ සාගතය නිසා මිනිසුන් ලක්ෂ 15ක් පමණ මියයද්දී ආහාර තිබිය දීත් ඉංග්‍රීසි රජය කිසිවක් නො කර බලා සිටියේය. එයට හේතුව ලෙස දේශපාලන විචාරකයන් පවසන්නේ ගාන්ධි බෙංගාල ජාතිකයෙක් නිසා බෙංගාලයෙන් පලි ගැනීමට එය කල බවයි. ලංකාවේ ද වතු වගාවට උඩරට ඉඩම් අත්පත් කර ගැනීම නිසා සිංහලයන් පිරිසක් කුස ගින්නේ මියගිය බව මතක් කල යුතු ය. එසේම ඔවුන් ඔස්ට්‍රේලියාව හා ඇමරිකාව තුල දී ලෙඩ බෝ කිරීම හා ජලයට වස මිශ්‍රකිරීමෙන් ස්වදේශික ජනයා දහස් ගණනින් මරා දැමූහ. මේ ඉංග්‍රීසීන්ගේ ඍජු කුරිරු කම්වලින් කිහිපයකි ඊට අමතරව වර්ගවාදී ගැටුම් ඇති කිරීම මඟින් මිනිස් ජීවිත මිලියන ගණනක් විනාශ කිරීමට ඔවුන් කටයුතු කලහ. උදාහරණ ලෙස ඉන්දියාවේ නිදහස් සටන් වලට පහර දීමට මුස්ලිම් පොලිස් භටයන් යෙදවීම දැක්විය හැක. එහි දී මුස්ලිම් පොලිස් භටයන් හින්දු ස්ත්‍රීන්ව දූෂණය කල අවස්ථා ද විය එවැනි සිද්ධීන් වල දී ඉංග්‍රීසි රජය වරදකරුවන් ආරක්ෂා කරන ලදී. ලංකාවේ දී ද 1915 ඇතිවූ ආගමික ගැටුම ඉංග්‍රීසීන් විසින් ඇති කරන ලද්දකි. උඩරට ගිවිසුමේ පලමුවන වගන්තිය ඉතා කුහකලෙස කඩකර දෙන ලද නඩු තීන්දුවක් එයට හේතු විය. මෙරට දෙමල ජාතිවාදයද ඉංග්‍රීසි අධිරාජ්‍ය වාදයේ අනුග්‍රහය යටතේ ඇතිවූ වකි. එබැවින් ජපනුන්ට වඩා ඉංග්‍රීසීන් හොඳ යැයි කිව හැක්කේ කාටද?
දැන් මෙම සිද්ධිය කතෝලිකයෙක් ගේ පැත්තෙන් සලකා බලමු.
ජපන් අධිරාජ්‍ය වාදීන්ගෙන් කතෝලිකයන්ට හිරිහැර වූ බව මම අසා ඇත. නමුත් මෙහි දී කතෝලිකයන්ගේ වගකීමක් නැතැයි කිව හැකි ද?  කතෝලික සභාව ජපන් අධිරාජ්‍යට පක්ෂපාතී ව කටයුතු නො කිරීම නිසාත්, ජපානයේ විරුද්ධ වාදීන් සමඟ වැඩි සබඳතා පැවැත්වීමත්, මෙයට හේතුවක් නොවිය හැකිද? උදාහරණයක් ලෙස මෙවැනි ම හේතුමත ඉතාලි ජාතික වාදීහු කලක් පාප්වහන්සේ නිවාස අඩස්සියේ තබා ගෙන සිටියහ. ලංකාවේදී ද එල්. ටී. ටී. ඊ සංවිධානය සම්බන්ධ කරුණු වල දී කතෝලික සභාව හැසිරුණේ, ශ්‍රී ලංකා රාජ්‍යත් එල්. ටී. ටී. ඊ පාලන ප්‍රෙද්ශත් සම තත්වයේ සලකා ගෙනය. මෙවැනි හැසිරීම් සිංහලයන් ඉවසුවත් වෙනත් ජන කොටස් නො ඉවසන බව මතක තබා ගත යුතු ය. රැවුල ගිනි ගෙන ඇති විට සුරුට්ටු පත්තු කිරීමට ගොස්, ඉල්ලා කෑවිට එයට වගකිවයුත්තේ තමාමය. සීසර්ගේ දේ සීසර්ටත් දෙවියන්ගේ දේ දෙවියන්ටත් දෙන ලෙස ජේසුස් වහන්සේ කියා ඇති බව මතක් කරමි.
දන් ඉංග්‍රීසීන් කතෝලික ආගමට සැලකූ ආකාරය සලකා බලමු.
ඉංග්‍රීසීන් යනු මුලින්ම කතෝලික සභාව ප්‍රතික්ෂේපකල ජාතියයි. එය අනෙක් යුරෝපීයයන්ටද ආදර්ශයක් වූවාට සැක නැත.
 ලන්දේසීන් මෙන්ම ඉංග්‍රීසීන්ද කතෝලික ආගමට විරුද්ධ පිරිසකි. නමුත් ඉංග්‍රීසීහු ලන්දේසීන් මෙන් කතෝලිකයන්ට හිරිහැර නොකලහ එයට ප්‍රධාන හේතු දෙකක් ඇත.
 එකක් නම් ඉංග්‍රීසි යුගය වනවිට බ්‍රිතාන්‍ය අධිරාජ්‍යට බලපෑමක් කල නොහැකි තරමට කතෝලික සභාවේ ලෞකික බලය දුර්වලවී තිබීමයි. එබැවින් ලන්දේසීන්ට මෙන් කතෝලිකයන් සමඟ ගැටුම් ඇතිකරගැනීමේ අවශ්‍යතාවක් ඉංග්‍රීසීන්ට නොවීය. (උදාහරන ලෙස කතෝලික ආගම අදහන ජන කොටසක්වන අයිරිෂ්වරු සම්බන්ධ ප්‍රශ්නයේදී පාප්වහන්සේ මුනිවත රැකීම දැක්විය හැක. එතුමා එවැනි කරුනකට මැදිහත්වූවානම් අනිවාර්යයෙන් සුද්දන්ගෙන් ඉංග්‍රීසි කුණුහරුප අසා ගන්නවා ඇත.)
අනෙක් කරුන නම් කතෝලිකයන් තම විශ්වාසවන්ත සේවකයන් ලෙස යොදවාගැනීමට හැකිබව ඔවුන්ගේ කපටි මොලයට වැටහීමයි.
ඉහත කරුණත්, බ්‍රිතාන්‍යන්ගේ වික්ටෝරියානු සදාචාරයට කතෝලිකයන් ඇලුම් කිරීමත්, නිසා කතෝලිකයන් බ්‍රිතාන්‍යයන් කෙරෙහි යහපත් ආකල්පයක් දක්වන්නට ඇති නමුත් එය රැවටීමක් ලෙස වටහා ගත යුතු ය.
මෙහි දී ඉහත සඳහන් පියතුමාගේ ක්‍රියාවේ තවත් වරදක් ඇත, යම් හෙයකින් ජපනුන් ලංකාව ආක්‍රමනයට සමත් වූවා නම් අනිවාර්යයෙන් ම ලංකාවේ කතෝලිකයන්ගෙන් පලි ගැනීමට කටයුතු කරනු ඇත. එබැවින් පියතුමා කර ඇත්තේ තම ආගමිකයන් අනවශ්‍ය‍ අවදානමකට ලක් කිරීමයි.
අනිත් අතට මෙම බාර වීම නිසා ජපානය යුද්ධයෙන් පරාජය වූවා නම්, හිරෝෂිමා නාගසාකි නගරවල සිදු වූ මහා මිනිස් සංහාරවලට ද සාන්ත අන්තෝනි තුමා වගකිව යුතු ය.
එසේම මෙම කරුණු දැන ගත් විට නූතන ජපන් කතෝලිකයා කුමක් සිතයිද?
එබැවින් මෙවැනි කරුණක දී කල හැකි හොඳ ම කටයුත්ත වන්නේ උනුත් එකයි, මුනුත් එකයි කියා පසෙ කට වී සිටීමයි.
මෙහි දී මට තවත් ගැටලුවක් පැනනැඟුනි. ශ්‍රී ලංකා හමුදාව එල්. ටී. ටී. ඊ සංවිධානය සමඟ යුදවදිද්දී ඉක්මනින් එල්. ටී. ටී. ඊ සංවිධානය පරාජය කර දෙන ලෙස කවුරුන් හෝ සාන්තුවරයෙකුට බාර වීමට කිසිදු පියතුමෙකුට මතක් නොවුනේ මන්ද?

Saturday, December 15, 2012

ආතර් සී ක්ලාර්ක් දෙස සිංහලයෙකුගේ ඇසින්



ආතර් සී ක්ලාර්ක් දෙස සිංහලයෙකුගේ ඇසින්

ආතර් සී ක්ලාර්ක් ශ්‍රී ලංකාව තුල මහත් ගරු බුහුමනට ලක් වූ අයෙකි.
ඔහුට ලංකාවේ සම්මාන පුරවැසි කම ලබා දුනි.
විවිධාකාර වූ සම්මාන රැසක් ලංකාවේ දී ලද හැකි විය.
මා ඉගෙන ගත් මොරටුව විශ්ව විද්‍යාලයේ කුලපති ධුරය ලබා දුනි.
කිසිදු සාක්ෂියක් නැතිව ද ඔහු සැදැහැවත් බෞද්ධයෙක් යැයි සිතා උදම් වන සිංහල බෞද්ධයන් ද බොහෝ සිටිති.
ඔහුගේ ගැඹුරු මුහුද නම් නවකතාවේ වාක්‍යයක් අල්ලා ගෙන උදම් අනන බෞද්ධයන් බොහෝ සිටිති. (අවාසනාවට මේ අතර භික්ෂූන් වහන්සේලා ද සිටිති.)
ලංකාවට කිසිදු සේවයක් නො කලත් ඔහු ලංකාවේ පුරවැසි භාවය ලත් අයකු වීම ගැන ආඩම්බර වන්නන් බොහෝ සිටිති.
ආතර් සී ක්ලාර්ක් මහතාගේ මරණය සිදු වූ අලුත විජය පරිගණක සඟරාවේ කතුවැකියක අප ආතර් සී ක්ලාර්ක් ගෙන් නිසි පල ලබාගත්තේ නැතැයි කියා කනස්සල්ල පල කර තිබුණි.
මම ද එම මතය පිළිගනිමි අප ඔහුගෙන් ගත යුත්ත ගත්තේ නැත!
ලංකාවේ දෙමළ ප්‍රශ්නය අවබෝධ කර ගැනීමේ දී ආතර් සී ක්ලාර්ක් මහතාගේ පොත් කියවීමෙන් විශාල ප්‍රයෝජනයක් ලද හැක (විශේෂයෙන්ම ලංකාව ගැන ඇති කොටස් කියවීමෙන්). මෙහි දී කාල් මාක්ස්ගේ පොත් වලට වඩා මෙම පොත් ප්‍රයෝජනවත්ය.
ආතර් සී ක්ලාර්ක් මහතාගේ ලංකාවේ මහ ජාතිය බර්ගර්වරු වෙති දෙවැනි ජන කොටස දෙමළ මිනිසුන් වන අතර සිංහලයන් යනු නො වැදගත් සුළුතරයකි මුස්ලිම්වරු ඇත්තේ ම නැත මෙහි දී දෙමළ මිනිසුන්ගේ බහුතරය බටහිර පන්නයට හුරුවුනු දෙමළ කළු සුද්දන් ය .
ඔහු තම පොත්වල ඇතැම් විට බුදු දහම ගැන සඳහන් කර ඇතත් කිසි විටෙක සිංහල බෞද්ධයෙක් ගැන සඳහනක් නැත. බුදු දහම දර්ශනයක් ලෙස හැදෑරූ සුද්දන් ගැන පමණක් සඳහන් කර ඇත.
ඔහුගේ අවසාන ග්‍රන්ථය වන “අවසන් සිද්ධාන්තය“ පොතේ සඳහන් වන පරිදි එල්. ටී. ටී. ඊ. සංවිධානය පරාජය නොවන අතර, දෙමළ සහ ලංසි නියෝජිතයන් එක්වී සාකච්ඡා කර සාමය ලබාගනී අවසානයේ ලංකාවේ පාලනය කළු සුද්දන් පිරිසකට අයිති වේ.
මෙහි දී ආතර් සී ක්ලාර්ක් ගේ සැබෑ නොවුනු අනාවැකියක් ද සිහි කිරීම වටී, ඔහු චන්ද්‍රිකාට නොබෙල් සාම ත්‍යාගය ලැබෙන බව කියා තිබුණි. ඇත්තෙන්ම එම ප්‍රකාශයෙහි වැදගත්කමක් ඇත. මක්නිසාද යත්, නොබෙල් සාම ත්‍යාග කමිටුව පිහිටුවා ඇත්තේ නෝර්වේ රාජ්‍යෙයහිය, එබැවින් නෝර්වේ නියෝජිතයන්ගේ පදයට නටා ඊලමක් බිහිවුව හොත්, එයට කල ගුණ සැලකීමක් ලෙස  නොබෙල් සාම ත්‍යාගය ලැබීමේ ඉඩක් පවතී.
ආතර් සී ක්ලාර්ක් මහතා එල්. ටී. ටී. ඊ. සංවිධානය පරාජය කල නො හැකි බව මියයන තෙක් ම විශ්වාස කල බව ඔහු අවසන් කාලයේ දී කල සාකච්ඡාවක දී කී කරුණු වලින් පැහැදිලි වේ.
ආතර් සී ක්ලාර්ක් මහතා තම ජීවිත කාලයෙන් අඩකට වඩා ලංකාවේ ගත කලත්  සිංහල වචනයක් ඉගෙනීමට උනන්දු නොවූ බව ද මතක් කල යුතු ය.
නාලක ගුණවර්ධනත් චන්දන ජයරත්නත් කෙතෙක් පඩික්කම් හේදුව ද, ආතර් සී ක්ලාර්ක් සිංහලයන් ව (විශේෂයෙන් සිංහල බෞද්ධයන්) පහත් කොට සලකා ඇති බව පැහැදිලි ය.
ආතර් සී ක්ලාර්ක් මහතා ගැන කිවූ මේ කරුණු සියල්ල ඔහුට පමනක් නොව සෑම ඉංග්‍රීසි ජාතිකයකුට ම අඩු වැඩි වශයෙන් අදාල බව වටහාගත යුතුය. ලංකාව බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයට යටත් ව පැවති කල ලංකාවේ පැවතුණේ ආතර් සී ක්ලාර්ක් මහතාගේ පොත්වල ඇති සමාජයකි. එකල සිංහලයන්ට වඩා වැඩි බලයක් බර්ගර් වරුන්ටත් චෙල්වනායගම් මහතා වැනි දෙමළ කළු සුද්දන්ටත් ලැබී තිබුනි. නිදහස ලැබීමෙන් පසු සිංහල බලයක් යටතේ සිටීමට අකමැති වූ බර්ගර්වරු, ඕස්ට්‍රේලියාවට සංක්‍රමනයවී සුද්දන් යටතේ ජීවත් වීමට තීරණය කල අතර, වරප්‍රසාද ලත් දෙමළ නායකයන් දෙමළ ජනතාව සිංහලයන්ට එරෙහිව උසි ගන්වන ලදී. මෙය පසුව ත්‍රස්තවාදයක් දක්වා වර්ධනය විය. දෙමළ ජාතිවාදයට මුල සිට ම සුද්දන්ගේ සහය ලැබුණු බව ද අප අමතක කල යුතු නැත. එසේම දෙමළ ජාතිවාදීහු සුද්දන්ගේ අධිරාජ්‍ය වාදයට සේවය කලහ. උදාහරණයක් ලෙස ලංකාවේ රාජ්‍ය භාෂාව ඉංග්‍රීසි වීම දෙමළ ජාතිවාදියාට ගැටලුවක් වූයේ නැත. නමුත් එය රටේ වැඩිදෙනෙක්ට වැටහෙන සිංහලට හැරවීම ඔවුන්ට අනුව දෙමළ ජනයාට කල මහා අසාධාරනයකි, අද පවා දෙමළ ජාතිවාදීහු සුද්දන්ට කේලම් කීමට උනන්දු වෙති. නමුත් සුද්දන්ගේ රටවල දෙමළාට හිමිවී ඇති තත්වය කිසිවක් නො කියති.
සුද්දන් විසින් පෝෂණය කරන දෙමළ ජාතිවාදයේ එක් අංගයක් වූ ත්‍රස්තවාදය පරාජය කිරීමට සුද්දාගෙන් ම උදව් ඉල්ලීම, හොරාගේ අම්මාගෙන් සාස්තර ඇසීමක් වෙයි. නෝර්වේ සාම නිරීක්‍ෂකයන් ගේ හැසිරීමෙන් මෙය මනාව පැහැදිලි වේ.
ඉංග්‍රීසීන් හිරු නො බසින අධිරාජ්‍යයක් පිහිටෙව්වේ යුධ ශක්තියටත් වඩා කපටිකම හා වශීකරගැනීම මතය. අද පවා බොහෝ සිංහලයන් සිතා සිටින්නේ දෙමළ ඩයස්පෝරාවේ බොරු ප්‍රචාර වලට රැවටී, බටහිර රටවල් ලංකාවට එරෙහිව කටයුතු කරන බවයි. එයින් නොකියා කියන්නේ සුද්දන් සර්ව සාධාරණ බව නොවේද? එය සත්‍යයක් නම් අරාබිවරුන්ගේ කතා අසා ඊස්‍රායලයට විරුද්ධව කටයුතු නො කරන්නේ මන්ද? හිරු නො බසින අධිරාජ්‍යයක් පිහිටෙ වූ ජාතියක් දෙමළ සංක්‍රමනිකයන්ගේ කතා වලට රැවටෙයි ද?
ආතර් සී කලාර්ක් නම් පර සුද්දාට මෙරට දී නුවුමනා ගරු බුහුමන් ලැබුණේ අපේ මෙම පර ගැති බව නිසාම ය. ඉදිරියේ දී වත් මෙයින් මිදීමට කටයුතු කරමු.
 ආතර් සී ක්ලාර්ක් මහතාගෙන් ගත හැකි ලොකු ම ප්‍රයෝජනය එයයි.


Saturday, December 1, 2012

ලිනක්ස් දෙස සාමාන්‍ය මිනිසෙකුගේ ඇසින්!




මම ලිනක්ස් ‍මෙ‍හෙයුම් පද්ධතිය ගැන විධිමත් අධ්‍යාපනයක් ලද අයෙක් ‍නො‍වෙමි.
නමුත් 2002 වසරේ සිට විවිධ ලිනක්ස් මෙහෙයුම් පද්ධති පාවිච්චි කර පළපුරුද්දක් ඇති අයෙක් වෙමි.
මුලින් ම මම පාවිච්චි කලේ රෙඩ් හැට් ලිනක්ස් 7.2 වන අතර මේ වන විට මින්ට් 14 පාවිච්චි කරමි.
සාමාන්‍ය‍ය‍ පරිශීලකයෙක් ගේ ඇසින් බැලූ විට මට පෙනෙන ලිනක්ස් හි ඌන තා පැහැදිලි කිරීම මෙම ලිපියේ අරමුණයි.
ලංකාවට ගැළපෙන ලිනක්ස් මෙහෙයුම් පද්ධතියක් තැනීමට යමෙක් උත්සාහ කරයි නම් මෙම කරුණු ඔවුන්ට ප්‍රයෝජනවත් වේ යයි සිතමි. මෙම කරුණු උබුන්ටු වලට සාපේක්ෂව ඉදිරිපත් කර ඇත.
1.ලිනක්ස් පිළිබඳ ආගන්තුකයෙක්ට බලපාන ප්‍රධාන ගැටළුවක් ලෙස ලිනක්ස් ස්ථාපනය කිරීමේ දී පාටිශන් සැකසීම දැක්විය හැක. විශේෂයෙන්ම ලිනක්ස් නිතරම අළුත් සංස්කරණ නිකුත් කරන මෙහෙයුම් පද්ධතියක් නිසා විටින්විට නව ස්ථාපනය කිරීම් කලයුතුය ස්ථාපනය කිරීමේ දී යම් අතපසුවීමක් වුවහොත් මුළු දෘඩ තැටියම ෆෝමැට් වී දත්ත සියල්ල අහිමි විය හැක.
මෙයට විසඳුමක් ලෙස මම යෝජනා කරන්නේ මෙයයි,
මෘදුකාංගය ස්ථාපිත කිරීමේ විසාඩ් මෙනුවේ පාටිශන් සැකසීමට ඇති තෝරා ගැනීම් ඇති පිටුවට ලඟාවීමට පෙර තවත් පිටුවක් විසාඩ් මෙනුවට එක් කල යුතු ය.
එහි “සම්මත පාටිශන් සැකසීම“ හා “ආධුනිකයන් සඳහා“ ලෙස තෝරා ගැනීම් දෙකක් තිබිය යුතුයි (රේඩියෝ බටන් යොදා).
“සම්මත පාටිශන් සැකසීම“ තෝරා නෙක්ස්ට් ක්ලික් කල විට දැනට පවතින ලිනක්ස් පාටිශන් සැකසීම කරන පිටුව වෙත යා යුතු අතර,
“ආධුනිකයන් සඳහා“ තේරූ විට නව පිටුවකට යා යුතු ය. එහි වින්ඩෝස් 7 හි මෙන් පාටිශන් ලැයිස්තුවක් තිබිය යුතු ය.
එසේම එහි පැරණි ලිනක්ස් සංස්කරණ ස්ථාපිත පාටිශන් (තනි පාටිශන් එකකට ෆයිල් සිස්ටම් එකම ස්ථාපනය කර ඇත්නම්) හඳුනා ගැනීමට විශේෂ අයිකනයක් යෙදිය යුතුය. එවැනි පාටිශන් එකක් අසල ම ස්වැප් පාටිශන් එකක් ද ඇත්නම් පාටිශන් දෙකම එකට ගොනුකර දැක්විය යුතුය.
එසේම එහි වින්ඩෝස් මෙහෙයුම් පද්ධති ස්ථාපිත පාටිශන් සඳහාද විශේෂ අයිකනයක් තිබිය යුතුය.
එම වගුවේ පාටිශන් දැක්වීමට වින්ඩෝස් වල ආකාරයටම ඉංග්‍රීසි අක්‍ෂර යොදාගත හැකිනම් වඩාත් උචිතය.
යමකුට ලිනක්ස් ස්ථාපනය කිරීමට අවශ්‍ය පාටිශන්එක මෙම වගුවෙන් තෝරා (සැකයක් ඇත්නම් ඩබල් ක්ලික් කර අදාල පාටිශන් එක තුල ඇති දත්ත මොනවාදැයි සැකහැර දැනගෙන) පාටිශන් සැකසීමට අණකල විට, එම ස්වැප් පාටිශන් එකට කෙතරම් ඉඩක් වෙන් කල යුතු දැයි දැක්විය යුතු ය. ඉන් පසු තේරූ පාටිශන් එක මැකී එය ඇති ස්ථානයේදී ext-4 හා swap පාටිශන් සැකසී ලිනක්ස් ස්ථාපනය වියයුතුය.
2. මෙහෙයුම් පද්ධතිය ස්ථාපනය කිරීමෙන් පසු වෙනස්කම් සැකසීම සඳහා (උදාහරණ ලෙස හෝම් ෆෝල්ඩරය වෙනත් තැනකට ගෙන යාම, swap පාටිශන් අලුතින් හඳුන්වා දීම වැනි කටයුතු) සඳහා චිත්‍රක අතුරු මුහුණතක් සහිත මෘදුකාංගයක් තනා එය පෙරනිමි ලෙස ලබා දිය යුතු ය.
3.ලිනක්ස් වල ඇති අනෙක් බරපතළ ම දෝෂය ලෙස මම දකින්නේ මෘදුකාංග ස්ථාපනයට අන්තර්ජාල පහසුකම් මත යැපීමට සිදුවීමයි.
ලිනක්ස් වලට පක්‍ෂපාතී අය ලිනක්ස් ආර්ථික වශයෙන් ලාභදායක යැයි කියතත්, උබුන්ටු වැනි මෙහෙයුම් පද්ධතියක් ස්ථාපිත පරිගණකයකට නව මෘදුකාංගයක් ස්ථාපනය කරන හැම විටම අන්තර්ජාල සම්බන්ධය ලබා දිය යුතු ය. පරිගණක කිහිපයක් ඇති විට ඒ හැම එකකට ම වෙන වෙනම අන්තර්ජාල සම්බන්ධය ලබා දී අදාළ මෘදුකාංගය ස්ථාපනය කලයුතුය. එසේම සාමාන්‍ය‍යෙන් ලිනක්ස් වල නව සංස්කරණ කෙටි කලකින් නිකුත් වන නිසා ඒ සැම විටම මෙම ක්‍රියාව නැවත නැවතත් කල යුතු ය. අප වැනි රටකට මෙය කෙතරම් ලාභදායක? අනිත් අතට මෙය අන්තර්ජාල සම්පත් නිකරුණේ නාස්ති කිරීමක් නොවේ ද? එසේම අන්තර්ජාල සම්බන්ධය වේගවත් නැති විට මෙය තවත් වදයක් වේ
මම මින්ට් පාවිච්චි කිරීමට ප්‍රධාන හේතුවත් එය අන්තර්ජාල සම්බන්ධතාව නැතිව මෘදුකාංග ස්ථාපනයට ඉඩ දී ඇති නිසා ය.
එහිදී මුලින්ම ස්ථාපනය කිරීමට අවශ්‍ය මෘදුකාංගය අන්තර්ජාලයෙන් ගෙනවිත් එය මත ඩබල්කලික් කර ස්ථාපනය කිරීමට උත්සාහ කල යුතුය. එවිට එයට අවශ්‍ය සහායක මෘදුකාංග(ඩිපෙන්ඩන්සි) වල ඌනතාවක් ඇත්නම් එම ඩිපෙන්ඩන්සි වල අන්තර්ජාල ලිපිනයන් (url) ලැයිස්තුවක් පෙන්වයි. එය ටෙක්ස්ට් ගොනුවකට කොපි කර අන්තර්ජාල පහසුකම ඇති පරිගණකයක් වෙත ගෙන ගොස් ඩවුන්ලෝඩ් මැනේජර් මෘදුකාංගයක් මඟින් එම ඩිපෙන්ඩන්සි ලැයිස්තුව භාගත කර ගෙන විත් එය මගේ පරිගණකයේ ඇති මුල් මෘදුකාංගය සමඟ එකම ෆෝල් ඩරයකට පිටපත් කර  ලිනක්ස් මින්ට් සමඟ ඇති පැකේජ් මැනේජර් මෘදුකාංගය මඟින් ස්ථාපනය කිරීමයි මගේ ක්‍රමය මෙමඟින් අන්තර්ජාල පහසුකම නැති ව මෘදුකාංග ස්ථාපනය කල හැක.
 නමුත් මෙහි ඇති ගැටළුව වන්නේ මින්ට් වලින් පෙන්වන්නේ එම අවස්ථාවට අදාළ ඩිපෙන්ඩන්සි ඌනතාව පමනක් වීමයි.
මෘදුකාංග කිහිපයක් ස්ථාපනය කරන විට අවසාන මෘදුකාංග වලට අවශ්‍ය‍ය ඩිපෙන්ඩන්සි, මුල් මෘදුකාංග ස්ථාපනයේ දී ස්ථාපනය වී ඇති විට අවසන් මෘදුකාංගයට අවශ්‍යය වන ඩිපෙන්ඩන්සි ප්‍රමානය අඩු විය හැක.
නමුත් එම මෘදුකාංගයම අලුතින් ස්ථාපනය කිරීමේ දී නැවතත් ඩිපෙන්ඩන්සි ඌනතාව පෙන්වයි.
මෙයට විසඳුමක් ලෙස මෘදුකාංග ස්ථාපනයට උදව් වන නව මෘදුකාංගයක් තැනිය යුතු ය. එය මෘදුකාංගයට අවශ්‍ය සහය මෘදුකාංග පරීක්‍ෂාකර ලිනක්ස් මෙහෙයුම් පද්ධතියට මුලින් ම ස්ථාපනය කරයි නම් අවශ්‍ය‍ වන සහය මෘදුකාංග ලැයිස්තුවත්, දැනට අවශ්‍ය වන සහය මෘදුකාංග ලැයිස්තුවත් වෙන වෙනම ගොනුවකට පිටපත් කිරීමට සලස්වා දිය යුතු ය. එසේම මෙම ගොනු භාගත කිරීම පහසු කිරීමට නව ඩවුන්ලෝඩ් මැනේජර් මෘදුකාංගයක් (වින්ඩෝස් ලිනක්ස් දෙකට ම සහය දෙන) සැකසීම ද වඩාත් උචිත ය.
ප්‍රභව කේත(source code) ලෙස ඇති මෘදුකාංගයක් ස්ථාපනය කිරීමේ දී ද සමහර විට අනපේක්ෂිත ගැටලු ඇතිවෙයි එය පහසු කිරීමට ද මෘදුකාංගයක් සෑදිය යුතු ය. එය සිංහල භාෂාවෙන් යුතු විය යුතු ය. ප්‍රභව කේත ගොනු අඩංගු සම් පීඩිත(compressed) ගොනුව තෝරා දුන්විට එය දිගහැර කොම්පයිල්කර ස්ථාපනය කිරීමද, කර ගැටලු මතු වෙයි නම් සිංහල මාධ්‍ය‍යයෙන් හැකි තරම් සරලව ඒවා පැහැදිලි කර හැකි නම් විසඳුම් ද ඉදිරිපත් කල හැකි ලෙස එය සෑදිය යුතු ය.
4.යම් හෙයකින් ලිනක්ස් බූට්ලෝඩරය අක්‍රීය වුවහොත්, නැවත එය සක්‍රීය කිරීම මෙහෙයුම් පද්ධතිය ලයිව් DVD එකක් ලෙස ක්‍රියාත්මක කර තනි මවුස් ක්ලික් එකකින් කල හැකි ලෙස මෘදුකාංගයක් ‍සකසා පෙරනිමි ලෙස ඇතුළත් කල යුතු ය.
5.මෙහෙයුම් පද්ධතිය දෘඩාංග හඳුනා ගන්නා ආකාරය නිරවුල්ව දැනගතහැකි මෘදුකාංගයක්ද තිබිය යුතුය.
උදාහරනයක් ලෙස මගේ පරිගනකයේ TV CARD එක මෙහෙයුම් පද්ධතියේදී /dev/radio0 ලෙස සලකන ගොනුවෙන් නිරූපනය කරන අතර, වොබ් කැමරාවක් සවිකලවිට එය /dev/video0 ගොනුවට ආදේශ කරගනී. නමුත් මෙම කරුන දැනගත හැක්කේ අත්ගුනයෙනි වින්ඩෝස් හි මෙන් ඩිවයිස් මැනේජර් වැනි මෘදුකාංගයක් තිබුනි නම් මෙම ගැටලු අවම වෙයි සමහරවිට, මෙයට ගැලපෙන මෘදුකාංග තිබිය හැකි වුවත්, මෙහෙයුම් පද්ධතියත් සමඟම මෙවැන්නක් ලබාදීම වැදගත්ය.
ඇත්තෙන්ම මට හැකියාවක් තිබුනි නම් මම මෙම ගැටලු විසඳීමට කටයුතු කරමි.
ලිනක්ස් මින්ට් වල ඇති මා අගය කරන ගුණය වන්නේ ද සාමාන්‍ය මිනිසාගේ පැත්තෙන් සිතා එය තනා තිබීමයි.
ලාංකේය අවශ්‍යතාවන්ට ගැළපෙන ලිනක්ස් සංස්කරණයක් තැනීමට බලාපොරොත්තු වන අය මෙම කරුණු ගැන සැලකිලිමත් වනු ඇතැයි බලාපොරොත්තු වෙමි.
කරුණාකර ඔබලාගේ අදහස් ද පල කරන්න.













Saturday, November 17, 2012

අන්තෝනියෝ බහිජටා: Mr. Nobody චිත්‍රපටය

අන්තෝනියෝ බහිජටා: Mr. Nobody චිත්‍රපටය: මේ වසරේ මා නැරඹූ හොඳම චිත්‍රපටය ලෙස මෙය සැලකිය හැක 2009 වසරේ තිරගතවූ මෙය විද්‍යා ප්‍රබන්ධයක් ලෙස සැලකිය හැක එහෙත් මෙය තාක්‍ෂනික අරුමයන් ගැ...

Wednesday, November 14, 2012

Mr. Nobody චිත්‍රපටය



මේ වසරේ මා නැරඹූ හොඳම චිත්‍රපටය ලෙස මෙය සැලකිය හැක
2009 වසරේ තිරගතවූ මෙය විද්‍යා ප්‍රබන්ධයක් ලෙස සැලකිය හැක
එහෙත් මෙය තාක්‍ෂනික අරුමයන් ගැන කියවන්නක් වත් සටන් ජවනිකා වලින් යුත් එකක් වත් නොවේ
මා මෙයට වඩාත් කැමති  වීමට හේතුව එයයි
මෙය ප්‍රධාන වශයෙන්ම තාපගතිකයේ දෙවන නියමය ගැන දාර්ශනික සංවාදයක් ලෙස සැලකිය හැක
තාප ගතිකයේ දෙවන නියමයෙන් කියවෙන්නේ අපගේ විශ්වය ක්‍රමයෙන් අවුල් වෙමින් පවතින බවයි
ක්‍රමවත් දෙයක් අක්‍රමවත් කිරීමට පහසු බවත් අක්‍රමවත් දෙයක් ක්‍රමවත් කිරීමට අපහසු බවත් මෙයින් කියවෙයි
උදාහරනයක් ලෙස පුස්තකාලයක පොත්පත් අවුල් කිරීමට සේවකයන් අවශ්‍ය නැත පුස්තකාලය පාවිච්චි කිරීමේදී එය නිරායාසයෙන්ම සිදුවේ
නමුත් අවුල්වූ පොත්පත් සුදුසු ස්ථානවල තැබීමට සේවකයන් යෙදවිය යුතුය
සමහර විට අක්‍රමවත් පද්ධති ක්‍රමවත් වන අවස්ථා ඇති නමුත්
(උදාහරන ලෙස ජීවී දේහයන් තුල, ස්වාභාවික පරිසරයේ අමුද්‍රව්‍ය යොදා මයික්‍රෝ චිපයක් නිපදවන විට)
එම ක්‍රියාවලියේදී සමස්ථ පද්ධතිය අක්‍රමවත් වේ
(ජීවය පවත්වා ගැනීමට ආහාර පිරිසිදු ජලය පිරිසිදු වාතය ගැලපෙන උශ්නත්ව පරාසයක් ආදිය අවශ්‍ය වන අතර ඒවා ලබාගැනීමේදී සමස්ථ විශ්වය අක්‍රමවත් වේ
 කර්මාන්ත ශාලාවක භාන්ඩ නිපදවීමට අවශ්‍ය ශක්තිය ලබාගැනීම අපද්‍රව්‍ය බැහැර කිරීම යන්ත්‍ර සූත්‍ර නඩත්තුව ආදී සමස්ථ ක්‍රියාවලිය මඟින් විශ්වය අවුල වීම සිදුවේ)
මෙම කරුන තාපයට අදාල වන්නේ කෙසේද
තාප ශක්තිය යනු පධාර්ථයේ <u>අක්‍රමවත් චලිතයේ </u>චාලක ශක්තිය ලෙස සැලකිය හැක
උදාහරනයක් ලෙස යකඩ කැබැල්ලක් විසිකල විට එහි අංශු නිශ්චිත මාර්ගයක් දිගේ (සාමාන්‍යෙයන් පරාවලයික පථයක) චලනය වේ නමුත් එම යකඩ කැබැල්ලම
රත්කල විට එහි අංශු එවැනි ක්‍රමවත් රටාවකට චලනය නොවේ එවිට ඒවා ඇවිස්සුනු කඩි ගුලක් මෙන් අවිධිමත් චලනයන්ට ලක්වෙයි
තාප ගතිකයේ දෙවන නියමයෙන් කියවෙන්නේ වෙනත් ශක්ති විශේෂයක් තාපය බවට සම්පූර්නයෙන්ම පරිවර්ථනය කල හැකි වුවත් තාපය
සම්පූර්නයෙන්ම වෙනත්ශක්තියකට හැරවිය නොහැකි බවයි සුළු කොටසක් හෝ තාපය ලෙසම පවතී
මෙම නියමය මුළු විශ්වයටම සම්පූර්නයෙන්ම සැමකල්හිම අදාල යැයි සැලකුව හොත් (එය උපකල්පනයකි) එයින් කියවෙන්නේ විශ්වයට උපතක් ඇති  බවයි
එසේම එය මැවුම් කරුවෙකුගේ නිර්මානයක් ද වේ (මෙයින් කියවෙන්නේ  බයිබලයේ හෝ කුරානයේ සෑම වාක්‍යයක්ම අකුරක් නෑර පිලිගතයුතු බව වත් මැවුම්කරුවාට වන්දනා මන කලයුතු බවවත් නොවේ
මැවුම් වාදය හා ආගම් යනු එකක් නොවේ)
තාපගතිකයේ දෙවන නියමය මනුශ්‍ය සමාජයට ආදේශ කලහොත්
ධනවාදී සමාජයක් සමාජවාදී සමාජයක් බවට හැරවීම ඉතා ආයාසයෙන් කලයුතුය එසේම එය පවත්වා ගැනීමද එයටත් වඩා ආයාසකර එකකි
නිසි විපරම් කිරීම මගහැරුනු විට එය ඉබේම ධනවාදයට හැරෙයි
එයට හේතුව ධනවාදය අවුල් සහගත වීමත් සමාජවාදය ක්‍රමවත් වීමත්ය
සමාජ වාදය විශ්වාස කරන්නන් ධනවාදී සමාජෙවල ඇති අක්‍රමවත් භාවය ධනවාදයේ දුබල කමක් ලෙස දුටුවත් ඇත්තටම එය ධනවාදයේ ඇති ලොකුම ශක්තියයි
සමාජවාදයට මෙන් න්‍යායාචාර්යවරුන් ගේ සහය නොලැබුවත් ධනවාදය පවතින්නේ මෙම ගුනය නිසාය
එබැවින් මාක්ස්ගේ මතය විද්‍යාත්මක නැත

චිත්‍රපටය තුල තාපගතිකයේ දෙවන නියමයට අමතරව සමාන්තර විශ්ව පිළිබඳ මතවාද ද සාකච්ඡා කරයි

Mr. Nobody චිත්‍රපටය පැය දෙකහමාරක් දිගු අතර දෙවරක් නැරඹීම වඩාත් සුදුසු බව නිර්දේශ කරමි
මෙයට සිංහල උපසිරැසි තැනීමට අදහසක් ඇති අතර දැනටම සිංහල උපසිරැසි ඇත්නම ඒ ගැන comment හි දන්වන ලෙසද ඉල්ලා සිටිමි




Friday, November 2, 2012

නණලළ වලට වඩා...

නණලළ වලට වඩා...
නණලළ භේදය ගැන අපගේ බස් පඬුවන් ඕනෑවටත් වඩා කතාකර ඇත
ඇත්තටම නණලළ සිංහල භාශාවට ගැටළුවක් වී ඇත්තේ එය සිංහල භාශාවේ රිද්මයට පිටින් යන්නක් බැවිනි
ඉංග්‍රීසි භාශාවේ C K V W අකුරු ඉංග්‍රීසි බස හසුරුවන්නන්ට ගැටළුවක් නොවේ
එසේම දෙමල භාශාවේ නයනු තුනකුත් ලයනු තුනකුත් ඇත එය ඔවුන්ට ගැටළුවක් වී නැත
සමහරවිට සිංහල ඉගෙන ගන්නා දෙමල අරයෙකුට නණලළ ප්‍රශ්නයක් නොවිය හැක
සිංහල බස වචන උච්ඡාරනය කරන ආකාරයට අනුව අකුරු ගලපන බසකි ඇත්තටම මෙය වඩා දියුනු ක්‍රමයක් බව මගේ වැටහීමයි
මෙම ක්‍රමයේදී විශාල හෝඩියක් පවත්වාගතයුතු  වුවත් හෝඩිය මතක තබාගත්පසු අක්‍ෂර වින්‍යාස ගැටළු අවම වේ
නණලළ ගැටළුවක් වී ඇත්තේ එය මෙම රටාවට පිටින් යන්නක් බැවිනි උපමාවකින් දැක්වුවහොත් කාන්තා වැසිකිලියකට පිරිමියෙක් පැමිනිවිට වන ගැටළුව සලකන්න

නමුත් මගේ මේ ලිපියේ අරමුන එයට වඩා වැදගත් සිංහල හෝඩියට අදාල අවුලක් ගැන සාකච්ඡා කිරීමයි
මෙය උගතුන්ගේ වැඩි අවධානයට ලක් නොවීම පුදුම සහගතය
මා සඳහන් කරන්නේ රකාරාංශය හා පිල්ලම් යෙදීම පිළිබඳ සුලභ අවුල ගැනයි
සම්ප්‍රදායට අනුව නම් රකාරාංශය සමඟ පාපිල්ල යෙදිය යුතු විට යෙදිය යුත්තේ ඇදපිල්ලයි
ක්+රු=ක්‍රැ
ක්+රූ=ක්‍රෑ
රකාරාංශය සමඟ ඇදපිල්ල යෙදිය නොහැක

මෙවැනි සම්ප්‍රදායක් ඇතිවීමට හේතුව ඇ අකුර ඇත්තේ සිංහල බසෙහි පමනක් වන නිසා
පැරණි  පඬිවරු එයට අඩු සැලකිලි දැක්වීම විය හැක
සිදත් සඟරා හෝඩියෙහිද ඇ ඈ අකුරු නැතිබව සලකන්න

නමුත් මේ සම්මතය අද භාවිතයේ නැත
අද
ක්‍රැ=ක්+රැ
ක්‍රෑ=ක්+රෑ
ලෙස පාවිච්චියට හුරුවී ඇත
එසේම රකාරාංශය සමඟ පාපිල්ල යෙදිය යුතුවිට එයට ගැටපිල්ල යොදයි
ක්+රු=කෘ
ක්+රූ=කෘෘ

අප පාසල් ගිය සමයේ නවය වසර සිංහල පෙල පොතේ
නූල් කෑල්ල කෙටිකතාවේ ෆ්‍රෑන්ක් යන වචනයත් එහිම
ගෘෘශා කඳුකරයට පලායයි පඩමේත් මෙම ක්‍රමය භාවිත විය
එහිදී කිසිවකුට එය ගැටළුවක් නොවුනි

මෙහිදී ඇදපිල්ල යෙදීමේ ගැටළුවක් නැතත්
ගැටපිල්ල යෙදීමේ ගැටළුවක් ඇත එයට හේතුව
එය ඍ ඎ අකුරුවලට අදාල පිල්ලම වීමයි
මෙම ගැටළුවට විසඳුමක් ලෙස රකාරාංශය සිංහල බසෙන් සම්පූර්නයෙන්ම ඉවත් කිරීමට යෝජනා නලහැකි වුවත්
එය කල හැකිද යන්න ගැටළුවකි
රකාරාංශයහ නැතිවිට වචන උච්ඡාරනයේ වෙනසක් වනබව මගේ අවබෝධයයි
පැරනි හා නව සම්ප්‍රදායන් දෙකම කලවමේ පාවිච්චි වන බැවින් මෙය තවත් සංකීර්න වේ
සිංහල යුනිකේත ෆොන්ට නිපදවන්නන්ට මෙම ගැටළුව තදින් බලපාන බවට සැකයක් නැත
විවිධ සිංහල යුනිකේත ෆොන්ට යොදාගෙන මෙම අකුරු ටයිප්කර බලන්න
ක්‍රු
ක්‍රූ

සිංහල බස පරිගනක ගත කිරීමටද මෙයින් බාදාවෙයි

මෙයට හොඳම විසඳුම වන්නේ
ඇදපිල්ල ඇ ශබ්දයටත්
ගැටපිල්ල ඍ ශබ්දයටත් බාරදී
රකාරාංශය සමඟ පාපිල්ලත් දීරඝ පාපිල්ලත් යෙදිය යුතුවිට යෙදීමට අළුත් පිල්ලම්  දෙකක් හඳුන්වා දීමයි
සමහරුන් මෙයට විසඳුමක් ලෙස ඇ වෙනුවෙන් විශාල ඇදපිල්ලත්
උ වෙනුවෙන් කුඩා ඇදපිල්ලත් භාවිතයට පෙලඹී ඇත (රැ රු අකුරුවල මෙන්)
නමුත් එය එතරම් හොඳ විසඳුමක් නොවේ
මන්ද එවිට පිල්ලම් හඳුනාගැනීම පිළිබඳ ගැටළු මතුවන බැවිනි
(එකල ජයසේකර අපොන්සු මහතාගේ රෑ රූ චිත්‍රපටයේ ප්‍රචාරක පෝස්ටරය කියවා එහි නම වැරදියට උච්ඡාරනය කිරීම ඔබලාට මතක ඇතැයි සිතමි)
මම කලකසිට මෙයට මගේම විසඳුමක් සොයාගෙන සොයාගතිමි
රකාරාංශය සමඟ පාපිල්ලක් යෙදිය යුතුවිට මම කරන්නේ රකාරාංශය අගට ගැටයක් යෙදීමයි (වි වී කරනවිට මෙන්)
දීර්ඝ පා පිල්ල යෙදිය යුතුවිට ගැටය සහිත රකාරාංශයත් ඇලපිල්ලත් යොදමි
මෙය ඕනෑම අයෙකුට පහසුවෙන් හුරුවියහැකිඩ ක්‍රමයකි
කුඩා ඇදපිල්ල වැරදිලෙස හඳුනාගැනීම වැනි ගැටළුවක්ද මේ ක්‍රමයෙන් ඇති නොවේ

ඇත්තටම මෙය රජය මැදිහත්වී විසඳිය යුතු අවුලකි
සංස්කෘතික අමාත්‍යංශය වැනි ආයතනයක් මඟින් තරඟයක් පවත්වා ලොව පුරා වෙසෙන්නන්ට අළුත් පිල්ලම් දෙකකට සුදුසු හැඩතල දැක්වීමට ඉඩ සලස්වා
විද්වත් මන්ඩලයකින් හොඳම විසඳුම් දෙක තෝරා එය නිල වශයෙන් පිලිගත හැක (අවශ්‍ය අයෙකුට භාවිතා නොකර සිටීමටද බාදාවක් නැත)

මේ ගැන සංවාදයක් ඇතිකිරීම මෙම ලිපියේ අරමුනයි

සිංහල යුනිකේත වලින් යතුරුකරනය කල නොහැකි අකුරු


මෙම රූප ලබාගන්නා ලද්දේ font creater මෘදුකාංගය මඟින් iskoola potha ෆොන්ටය විවෘත කිරීමෙනි
නමුත් මෙම අකුරු ටයිප් කිරීමට නොහැක කරන අයුර දන්නා අයෙක් වෙයිනම් පැහැදිලි කරන්න
බැඳි අකුරු යතුරුකරන ආකාරයට මෙම අකුරු ද යතුරුකරනය කලහැකි වියයුතුය
මෙම ගැටළුව ඉදිරියේදී විසඳේව යැයි බලාපොරොත්තු වෙමි