Friday, July 1, 2016

මහේක්ෂ පද්ධතියක් ක්වන්ටීකරණය වීම.

  

 මට ක්වන්ටම් භෞතික විද්‍යාව සම්බන්ධව ඇත්තේ එම විශය සම්බන්ධව හෝඩිපොතේ දැනුම බව කිවයුතුයි.
   ක්වන්ටම් භෞතික විද්‍යාවේදී සමහර අවස්ථාවල මනුෂ්‍ය ඉන්ද්‍රිය ගෝචර අත්දැකීම් වලට පටහැනි සිදුවීම් සිදුවනබව පිලිගනියි. උදාහරණයක් ලෙස මිනිසෙක් එකවරම දොරටු දෙකකින් ශාලාවකට ඇතුළුවීම. සිරකරුවකු සිරගෙදරින් පිටතදී මුනගැසීම. යම් දෙයක් එක්තැනකින් අතුරුදහන්වී තවත් තැනකින් මතුවීම. වැනි සිදුවීම් අස්වාභාවික දේ ලෙස දැනුනත් ක්වන්ටම් භෞතික විද්‍යාවේදී අන්වීක්ෂීය පද්ධති සඳහා එය සාමාන්‍ය තත්වයක් ලෙස සලකයි.
   මට තේරෙන අන්දමට නම් මෙය ගණිතය සහ ස්වභාවධර්මය අතර ගැටුමක් ලෙස සැලකිය හැකිය.ක්වන්ටම් භෞතික විද්‍යාව තනිකර ගණිතය මත රැඳුනු විද්‍යාවකි. සම්භාව්‍ය භෞතික විද්‍යාවේදී ගණිතය පාවිච්චි වන්නේ මෙවලමක් ලෙසිනි. එනම් ගසක ගෙඩියක් කඩාගැනීමට අත දිගමදිවිට කෙක්කක් පාවිච්චි කිරීම මෙනි. නමුත් ක්වන්ටම් භෞතික විද්‍යාවේදී ගණිතය යොදාගන්නේ අතේ ඇටකටු මෙනි.
   ස්වභාවධර්මයේ සමහර සිදුවීම් නිරූපණය කිරීමට ගණිත සංකල්ප යොදාගත හැකි අතර ගණිතකර්ම මඟින් යම් නිගමනයන්ටද එලැඹිය හැක නමුත් ගණිතය ස්වභාවධර්මයේ සිදුවීම් පැහැදිලිකිරීම අරමුණුකරගත් විශයක් නොවේ.  සමහර ගණිත සංකල්ප ස්වභාවධර්මයේ නිරීක්ෂණ වලට පටහැනිවේ. උදාහරණයක් හැටියට කන්දක් මුදුනට, කුමන මාර්ගයක් ඔස්සේ ගියත් කඳු මුදුනේ උස වෙනස් නොවේ නමුත් සමහර z=f(x,y) ආකාරයේ ත්‍රිමාණ ප්‍රස්තාරවල  X-Y තලය මත වූ යම්කිසි p(x,y) ලක්ෂයක් වෙතට ලඟාවන පථය අනුව  pට අනුරූප z හි අගය වෙනස්විය හැක.

https://www.google.com/search?q=two+variable+function+Continuity+and+limit&client=firefox-b&noj=1&biw=1360&bih=638&source=lnms&sa=X&ved=0ahUKEwjplKKpw9TNAhUHKY8KHdNgB_gQ_AUIBygA&dpr=1&gfe_rd=cr&ei=ZJF3V-mTCcKJ8Qfv-r-ICA


   ක්වන්ටම් භෞතික විද්‍යාව දැඩිලෙස ගණිත සංකල්ප මත රැ‍ඳෙන නිසා මෙවැනි සංකල්ප ස්වභාවධර්මයට ආදේශවීම නිසා ඉහත සඳහන් ආකාරයේ අස්වාභාවික සිදුවිම් ක්වන්ටම් භෞතික විද්‍යාව තුල සඳහන්වෙයි.

(ඉහත දැක්වූයේ මට ක්වන්ටම් භෞතික විද්‍යාව  අවබෝධවූ තරමිනි. මේ සම්බන්ධයෙන් මීට වඩා දැනුමක් ඇති අය වෙත්නම් වැඩිවිස්තර දක්වන මෙන් ඉල්ලා සිටිමි.)
*******************
   දැන් ලිපියේ මාතෘකාවට අදාල සිදුවීම සඳහන් කරමි. මම මේ දින වල නිවසක් තනවමින් සිටිමි. මෙහි සැලසුම මගේම එකකි. ගෘහ සැලසුම් ශිල්පියා කලේ පරිගනකය ආධාරයෙන් එය ඇඳදීම පමණි.
   මට නිවස සැලසුම් කිරීමේදී වූ ප්‍රධාන ගැටළුවක් වූයේ  දිග පළල ඇඟට නොදැනීමයි. උදාහරණයක් ලෙස අඩි 12ක් දිග කාමරයක් නිදන කාමරයකට සුදුසුද? කුඩා වැඩිද? විශාල වැඩිද? යන්න ඇඟට නොදැනීම බරපතල ගැටළුවක් විය. එයට විසඳුම ලෙස මිතුරන්ගේ/ඥාතින්ගේ  නිවෙස්වලට ගොස් කාමර වල දැග පළල මැන බැලීමි.
    හොඳින් පය තැබීම සඳහා, එහි තරප්පු පෙල සඳහා අඟල් 11ක් පළල පඩි යොදාගැනීමට ස්ථිරවම තීරණය කලෙමි. තරප්පුව සඳහා යන ඉඩකඩ අඩුකරගැනීම සඳහා පඩියක උස සඳහා අඟල් 7ක් යෙදීමට තීරණය කලෙමි. නිවසේ සැලැස්ම වර්ග කිරිම යැයි දෙයක් කිරීමට වාස්තු විද්‍යා ශිල්පියෙකු වෙතට ගෙනයෑමට වැඩිහිටියන්ගෙන් උපදෙස් ලැබුනු නිසා එවැන්නෙක් වෙතට ගියෙමි. වර්ග කිරීමට අධික මුදලක් ඉල්ලූ නිසා ඔහුට බම්බු ගසා ගැනීමට කියා, එය අතහැර නැකතක් පමණක් සාදාගතිමි. කොහොමත් මම එවැනි දේ ගැන විශ්වාස නොකරන අතර ඔහුවෙත ගියේ සම්ප්‍රදායකට ගරු කිරීමක් සඳහා පමණි. වර්ගකිරීම වෙනුවට විද්‍යාත්මක උපදෙසක් ගැනීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශයේ නිවාස සැලසුම් අනුමත කිරීම භාර නිලධාරියෙක් හමුවුනෙමි. ඔහු මා හඳුණන අයෙකුගේ බෑනා කෙනෙකි.
   මට නිවාස සැලසුම සම්බන්ධව තිබුණු ප්‍රධාන දෙගිඩියාව වූයේ තරප්පු පේලියයි. යථෝක්ත නිලධාරි මහතා මට යෝජනා කලේ අඟල් 10ක් පළල අඟල් 6ක් උස පඩියක් මෙයට සුදුසු බවයි. අඟල් 7ක පඩියක් මිනිස් සිරුරට වෙහෙසකර බවයි. නමුත් එසේ වීමට හේතු පැහැදිලි හේතුවක් දැක්වීමට ඔහු අසමත්විය.
   මම මේ ගැන ගණන්හදැ බැලුවෙමි. මෙහිදී පඩිපෙල ආනතතලයක් බවට උපකල්පනය කලෙමි.
අඟල් 10ක් පළල 6ක් උස පඩි සහිත තරප්පු පෙලක ආනතිය 6÷10=0.6කි
අඟල් 11ක් දිග 7ක් උස සහිත පඩි අඩංගු තරප්පුවක ආනතිය 7÷11=0.6363....
   එනම් පඩිපෙල දෙකේම ඇත්තේ ආසන්න වශයෙන් එකම ආනතියකි එමනිසා අඟල් 7 පඩි යෙදීමට තිරණය කලෙමි.
   මගේ වරද අවබෝධවුනේ පඩිපෙල සාදන විටය. පඩිපෙලක් නැගීම සහ බැසීම ආනත තලයක යෑම වැනි සංතතික චලිතයක් නොවේ. පඩි නැගිය යුත්තේ වරකට 1 බැගිනි. එය ක්වොන්ටීකරණයවූ චලිතයකි. මිනිස් සිරුරට බලපාන්නේ තරප්පුවේ ආනතිය නොව වරකට පඩියක් නඟින විට දැනෙන බලපෑමයි.  අඟල් 7ක පඩියක් නඟිනවිට  සහ බහිනවිට දනහිසට සහ උකුලට සියුම් අමතර වෙහෙසක් වෙහෙසක් දැනේ වියපත් අයෙකුට මෙය වැඩියෙන් දැනෙන බවට සැක නැත.
   පඩිපෙල අඩක් නිමකල පසු මෙය අවබෝධවූ නිසා විශාල අලාභයකින් ගැලවුනි. පඩිපෙල කඩා ඉවත්කිරීමෙන් තොරව, පඩිපෙලට ඉදිරියෙන් අඟල් 6ක් උස අමතර පඩියක් යොදා ඉතිරි පඩිවල උස පඩියකට අඟල බැගින් අඩුවනලෙස කපරාරු කිරීමෙන් මේ ගැටළුව සමහන් කරගැනීමට තීරණය කරගතිමි.
   මේ සඳහා උපදෙස් දුන් ගෘහ නිර්මාණ අධ්‍යක්‍ෂක (කොන්තරාත් කාරයා) තුමාටත්, ගෘහනිර්මාණ ශිල්පීණ්ටත් (මේසන් බාස්ලාට) කෘතඥවෙමි.
අළුතින් නිවසක් තනන්නට බලාපොරොත්තුවන අයෙක්ට මේ ලිපිය ප්‍රජෝජනවත් වෙතැයි සිතමි.

නිගමණය:-
    ක්වන්ටම් භෞතික විද්‍යාව ඉලෙක්ට්‍රෝන, ප්‍රෝටෝන වලට පමණක් නොව තරප්පු පේලිවලටත් අදාලවෙයි :D

Saturday, May 21, 2016

මගේ මෘදුකාංගයක්: pinterest_file_compare (මෙය පින්තුර දෙකක් සංසන්දනය කිරීමට යොදාගනී).

බාගත කරගන්න

EXE

SRC

    මෙය කලකට පෙර තැනූ එකකි. නමුත් මේ ගැන ලිපියක් ලිවීමට අතපසු විය.

පරිගණකයේ ෆෝල්ඩර් දෙකක එකම පින්තූරයක පිටපත් හෝ එකම පින්තූරයක විවිධ ප්‍රමාණයේ  පිටපත් ඇතිවිට ඒවා ඇසින් බලා අනවශ්‍ය පින්තූර මකා දැමීමට මෙම මෘදුකාංගය යොදාගනී

පාවිච්චියට උපදෙස්:



 

1. සංසන්දනය කිරීමට අවශ්‍ය ෆෝල්ඩර 2 පින්තූරයේ රතු පැහැයෙන් දක්වා ඇති 1 හා 2 පෙල කොටු (text box) මතට ඇද දමන්න. නැතිනම් එම පෙලකොටු ඉදිරියේ ඇති  සලකුණ ක්ලික් කර ඉහලින් ඇති 3 පෙල කොටුව තුල එහි පථය සටහන් කරන්න.

2. "සොයන්න" යනුවෙන් සඳහන් බොත්තම ඔබන්න.

3. එවිට ෆෝල්ඩර දෙකෙහි ඇති එකම නමින් යුතු පින්තූර ලැයිස්තුවක් පහළ 4 ස්ථානයේ දැක්වෙයි. එහි එක් එක් අයිතම ක්ලික් කලවිට එක් එක් ෆෝල්ඩරයෙහි එම නමින් ඇති පින්තූරය 5,6 ස්ථානවල පෙන්වයි. ඒවා බලා මකා දැමීමට අවශ්‍ය පින්තූරය පහලින් ඇති සලකුණ ක්ලික් කරන්න.

 

මෙම මෘදුකාංගය අවශ්‍ය පරිදි වෙනස් කිරීමටත් එසේ කර නැවත බෙදාහැරීමටත් අවසර ඇත. එසේ කරන්නේනම්, මුල්පිටපත මෙතනින් ගත්බව සඳහන් කරන්න.

අතපසුවීමක් නිසා බාගතකිරීමේ පුරුක් සඳහා පැරණි අත්හදා බැලීමේ පිටපතක් ඇමිනීම ගැන කණගාටුව ප්‍රකාශ කරමි.


Tuesday, May 10, 2016

බත් කඩයකට ගැලපෙන තොරතුරු තාක්ෂණ යෙදුමකට අදහසක්.

  

  දැනට සති දෙකකට පමණ පෙර බත් පාර්සල් කිහිපයක් මිලදී ගැනීමට එක්තරා භෝජනාගාරයකට ගියෙමි. එය තරමක් සුපිරි තත්වයේ එකකි.නමුත් බත් පාර්සල් සෑදීමේ ක්‍රමයේ කිසිදු නවීකරනයක් නොදුටුවෙමි. එහිදී කලයුතු වූයේ බත්පාර්සල් බෙදන කවුන්ටරයේ උන් සේවකයාගෙන් එක් එක් වර්ගයේ බත් පාර්සල්වල මිල ගනන් අසා දැනගෙන ඉන්පසු සුදුසු බත් පාර්සල් වර්ගය තෝරා මිල ගෙවා බත් පාර්සල් පිලියෙල කරනතුරු බලා සිටීමයි. එවිට සේවකයෙක් බත් පාර්සල් වර්ගයට අදාලවන පරිදි බත් සහ ව්‍යංජන සම්මත ප්‍රමාණ වලින් බෙදා පාර්සලය පිලියෙල කර දෙයි.

   මෙය ගැන කල්පනා කල මට මෙම කටයුත්ත හොඳින් කරගැනුමට ගැලපෙන තොරතුරු තාක්ෂණ විසඳුමක් යෝජනා කිරීමට සිතුනි.

  • බත්පාර්සල් කවුන්ටරය අසල ස්පර්ශ සංවේදී තිරයක් සවිකරන්න.

  •  එය තුල එදිනට අලෙවි කිරීමට ඇති බත් සහ ව්‍යංජන ලැයිස්තුව(සිංහලෙන්) දක්වන්න. එහිදී එක් එක් ද්‍රව්‍යය බෙදන හැඳි වර්ගයද, ඒකකයක මිලද සඳහන් කල යුතුය.

  • පාරිභෝගිකයාට ඇඟිල්ල පාවිච්චි කර බත් පාර්සලයට ඇතුලත් වියයුතු ද්‍රව්‍යය ලැයිස්තුව පිලියෙල කල හැකිවිය  යුතුයි. එහිදී එක් කරන ද්‍රව්‍යය අනුව බත් පාර්සලයේ මිල වෙනස්වීම දැක්විය යුතුය. (උදාහරණයක් ලෙස: බත් හැඳි 3, පරිප්පු හැඳි1,බටු තේ හැඳි 2, බිත්තර බාගයයි ආදී ලෙස ලැයිස්තුව සකසන විට එහි මිල වෙනස්වීම පහලින් දැක්විය යුතුය.

  • පාරිභෝගිකයා වැරදි තේරීමක් කලහොත්(උදාහරණ: බත් හැඳි 1කට පරිප්පු හැඳි 2, බත් හැඳි 10ක් ) හෝ බොහෝ වේලා ආහාර තෝරමින් කාලය ගතකරයි නම් ඒ ගැන කාරුණික නිවේදනයක් තිරයේ දිස්විය යුතුය.

  • ආහාර තෝරමින් සිටීමට අකමැති අයෙක්ට පෙරනිමි(default) ආහාර වට්ටෝරු අතරින් එකක් තේරීමේ හැකියාවද තිබිය යුතුය.

  • ආහාර වට්ටෝරුව තෝරා අවසන් වූ පසු ඇනවුම් කිරීමට විධාන කර අයකැමි වරයාට මුදල් ගෙවූ පසු ඔහු විසින් ස්විචයක් එබිය යුතුය. එවිට ආහාර තැන්පත් කර ඇති රාක්කයේ එක් එක් ආහාර ද්‍රව්‍යය ඉහලින් ඇති LED සප්ත ඛණ්ඩක දර්ශක තුල බෙදිය යුතු ආහාර ද්‍රව්‍ය ප්‍රමාණ ඉලක්කමින් දැක්වෙයි.

  • ඒ අනුව සේවකයා අවශ්‍ය ආහාර බෙදා බත් පාර්සලය පිලියෙලකර පාරිභෝගිකයාට ලබා දීමෙන් පසු තවත් ස්විචයක් ඔබා ගනුදෙනුව අවසන් බව පරිගණකයට දැන්විය යුතුය.

   මෙවැනි කටයුත්තකදී ඩෙස්ක්ටොප් පරිගණකයක් වෙනුවට අඩු විදුලියක් වැයවන Raspberry Pi වැනි පරිගණක පරිපථයක් යොදා ගැනීම වඩා උචිත වෙයි.

   විශ්විද්‍යාලයක හෝ වෙනත් තාක්ෂණ විශයයන් උගන්වන උසස් අධ්‍යාපන ආයතනයක කැන්ටිමක් යොදා ගෙන මෙවැනි කටයුත්තක් පහසුවෙන් අත්හදා බැලිය හැකියැයි සිතමි.

මෙහි වැඩිදියුනු කිරීමක් ලෙස ආහාර බෙදන රොබෝවක් සෑදීමට උත්සාහ කල හැක.


Saturday, April 23, 2016

මගේ මෘදුකාංගයක් (මෙම මෘදුකාංගය මෙව්වා එකක් මෙව්වා කිරීම සඳහා යොදා ගනී)

'සමකය වටේ','යුතුකම' වැනි වෙබ් අඩවි වල පිටු පරිගනකයේ සුරකින විට '_001' වැනි නමකින් යුත් දිගුවක් (file extention) රහිත ගොනු  එම පිටුව සුරකින ස්ථානයේම සෑදෙනු

දැක ඇත්තෙමි. එසේම 'යුතුකම' අඩවියේ පිටු සුරකිනවිට නිතරම එවැනිම දිගුවක් රහිත ගොනු 'Main','Theory','default' නම් වලින්  වෙබ් පිටුවට සම්බන්ධ අතිරේක ගොනු

ගබඩාවන ෆෝල්ඩරය තුල සෑදෙනු දැක ඇත්තෙමි. ‍අනෙකුත් වෙබ් අඩවි වල පිටු සුරැකීමේදීද  ඉඳහිට ‍මෙවන් ගොනු සෑදෙනු දැක ඇත්තෙමි. මෙම ගොනුවලින් ඇති ප්‍රයෝජනය නොදනිමි.

නමුත් මේවා වෙබ් පිටු සෑදීමට අවශ්‍ය දත්ත ගබඩා කරන යම් ආකාරයක දත්ත පදනමක් (data base) සඳහා පාවිච්චි කරන ගොනු විශේෂයක් යැයි සිතේ.
කෙසේ වෙතත් මෙම ගොනුවල රුක් සටහනක ආකෘතියෙන් දත්ත තැම්පත්කර ඇති බව දුටු නිසා මෙම දත්ත පහසුවෙන් කියැවීම සඳහා මෘදුකාංගයක් තැනුවෙමි. මේ සඳහා ශාකීය දත්ත ආකෘතිය තරමක් සංකීර්ණ ලෙස යොදා ගත්තෙමි.
මෙම ගොනු වලින් ඇති ප්‍රයෝජනය කුමක්දැයි  දන්නා අයෙකු වෙත්නම් එය පැහැදිලි කරන ලෙසද ඉල්ලා සිටිමි.

ක්‍රියා කරවන ආකාරය:



සිප් ගොනුව භාගත කර එය දිගහැර (extract) එය තුල ඇති WindowsApplication19.exe ගොනුව ක්‍රියාත්මක කරන්න. ඉන්පසු BROWSE බොත්තම ඔබා file

Samples ෆෝල්ඩරය තුල ඇති ගොනුවක් තෝරා ඉන්පසු, READ බොත්තම ඔබන්න.
මෙහි file Samples ලෙස දී ඇති එක ගොනුවක් 'ඩ්‍රැකීගේ අඩවියෙනුත්' අනෙක්වා 'යුතුකම' වෙබ් අඩවියෙනුත් ගන්නා ලදී.

Tuesday, April 12, 2016

HAPPY NEW YEAR


සිංහල හා හින්දු/දෙමල අවුරුද්දට ඇමරිකානු සහ එංගලන්ත භාශාවෙන් කල සුභපැතුමක්.

Friday, April 8, 2016

පෙන් ඩ්‍රයිව (pen drive) සංකල්පයේ නිර්මාතෘ.

   ඩ්‍රැකීගේ අඩවියේ පලවූ ගජබින්න ලිපි කියවීමෙන් පසු එවන් ලිපියක් ලිවීමට සිතුන බැවින් මෙය ලියමි. නමුත් මෙය කිසිසේත්ම ගජබින්නයක් නොවන පවසමි.
   එකල ජාතික රූපවාහිනියේ රොබෝ කොප් ටෙලි නාට්‍ය විකාශය කෙරිණි. එය සිංහල හඬ කැවීමක් හෝ උපසිරැසි යෙදීමකින් තොරව විකාශය කෙරුණත් මගේ මිතුරන් අතර එය සෑහෙන ජනප්‍රියත්වයක් ලබා තිබුණි. එහි මා සිතගත් අංගයක් වූයේ රොබෝ කොප් පරිගණකය සමඟ සම්බන්ධ වීමට යොදා ගන්නා 'උල'යි.

රොබෝ කොප් ගේ උල


   මම පාසල් ගියේ වෑන් රථයකය. දිනක් එහි ගිය අප පාසලේම මට වඩා බාල සිසුවෙක් විශේෂ පෑන් කීපයක් ගෙනැවිත් අපට පෙන්වූයේය. එම පෑන් තනා ඇත්තේ අත්කම්  ශිල්පියෙකු විසින් යැයි සිතමි. පෑන්වල බඳ කොටස, පැත්තක දිග සෙන්ටිමීටරක් පමණ වන සමචතුරස්‍රාකාර හරස් කඩකින් යුත් ලී කූරකිත් තනා තිබුණි. එහි මුදුනේ අර්ධ ගෝලාකාර පබළුවක් ඔබ්බවා තිබුණි. බ‍ඳේ පැති හතරේ පැත්තක දෙක බැගින් රුවිත (රොම්බස) හැඩැති කුඩා කණ්නාඩි කැබලි ඔබ්බවා තිබුණි. පෑන් බ‍ෙඳේ පහත තුඩ පිහිටි කොටස අඟල් දෙකක් පමණ දිගට රන්පැහැයෙන් කේතු හැඩයට තනා තිබිණ.
   මෙම පෑන අතට ගත්විට, එහි තුඩ පැත්ත දුටු මට රොබෝ කොප්ගේ උල සිහිවිය. එහි මුදුනේ වූ පබළුව දුටු මට අපූරු අදහසක් පහල විණ. මම එම අදහස වෑන් රියේ ගිය අනිත්වුන් සමඟ බෙදා ගත්තෙමි.
   "අපි මේ පබළුව ගලවා මෙතනට උත්තල කාචයක් සවිකරමු. ඊට යටින් රූප සංවේදකයක් සවිකරමු. ඊට පස්සේ ඇතුලේ පෑන් කූර අයින්කර දත්ත ගබඩා කරන චිප් සහ වෙනත් පරිපථ සවිකරමු. මේ රුවිත හැඩයේ කණ්නාඩි කැබලි ඉවත්කර එතැනට ස්විච් සවිකරමු. එතකොට මේක පෑනක් නෙමෙයි වීඩියෝ කැමරාවක් මේ විදියට ස්විච් එකක් ඔබාගෙන මෙයින් අවශ්‍ය දෙයක් වීඩියෝ ගතකල හැකියි" (කරන ආකාරය රඟදක්වමින් විස්තර කලෙමි.) 

   ඉන්පසු පෑන් තුඩ පෙන්වා
   "මේ රොබෝ කොප්ගේ උල, වීඩියෝව පරිගණකයකට ලබා ගැනීමට මෙයින් මේ ආකාරයට පරිගණකය ඇන්න යුතුයි." (පෑන්තුඩෙන් එය අයිතිකරුගේ හිසට ඇන්නෙමි)
"ඊට පස්සේ රොබෝ කොප් වගේ මෙහෙම කරකැවිය යුතුයි. එතකොට කොම්පියු‍ටර් එකෙන් වීඩියෝ එක පෙනෙනවා." (පෑන්තුඩ හිසට තබා තදකර කරකවා පෙන්වීමි)
   මම මෙසේ කලවිට අනෙක් අයත් එම වර්ගයේ ඉතිරි පෑන් වලින් ඒවා අයිති කරුගේ හිසට අනින්නට විය. අයිතිකරු සියළු පෑන් උදුරාගෙන,

    "කැමරා එපා පෑනක් තිබුනාම ඇති" යැයි කීවේය.

   මෙම සිදුවීම වූයේ 1996 වසරේ විය යුතුය.

   ඒ වන විටත් USB තාක්ෂණය අත්හදා බලමින් තිබුනත් එය ගත්තේ දත්ත ගෙනයන  රැහැනක් හරහා පරිගණකයට සවිකරන උපකරණ සඳහාය. (https://en.wikipedia.org/wiki/USB)

   මුල්ම USB පෙන් ඩ්‍රයිවය (USB pen drive) තනා ඇත්තේ ඊස්‍රායෙල් සමාඟමක් විසින් 1999 වසරේදීය.(https://en.wikipedia.org/wiki/USB_flash_drive)

   සමහර විට පෙන් ඩ්‍රයිව් අදහස මුලින්ම පැමිණියේ මගේ හිතට විය හැක. ☺


Friday, March 18, 2016

නැරඹිය යුතුම වෙබ් අඩවියක්. www.instructables.com

http://www.instructables.com/

මෙම වෙබ් අඩවිය නව නිර්මාණ සහ මිල අධික ‍උපකරණ වෙනුවට යොදාගත හැකි නිවසේදී නැනිය හැකි අඩු වියදම් ආදේශක මෙවලම් ගැන උපදෙස් ලබාගත හැකි එකකි. 

මා මැතදී මෙයින් කියවූ ලිපිය මෙයයි. http://www.instructables.com/id/Quickly-Scan-a-Textbook-With-a-Camera/

මෙහි arduino පරිපථ යොදාගෙන කල පරීක්ෂණ ගැන විස්තරද ඇත.