Tuesday, December 6, 2016

KEYMAN2016. සිංහල යතුරුකරන මෘදුකාංගය.



මෙය ක්‍රියාත්මක කිරීමට .net framework 4 හෝ ඉහල සංස්කරණයක් අවශ්‍ය විය හැක (Windows 10 සඳහා මෙම තත්වය බල නොපායි)

      මා තැනූ මෙම මෘදුකාංගයට ඉහල ප්‍රාඨක ප්‍රතිචාරයක් ලැබුණු නිසා එය තවදුරටත් දියුණු කලෙමි. ඒ අනුව මෙයට FM-Abhaya අකුරු මෝස්තරයට අනුව සැකසූ අකුරු යතුරුකරණය කිරීමේ හැකියාවද එක්කරන ලදී. එසේම මෙහි අඩුපාඩුද හැකිතරම් නිවැරදි කරන ලදී.
 
   FM-Abhaya අකුරු  යතුරු කරණයේදිද යුනිකේත විජයසේකර යතුරු පුවරු ආකෘතියම පාවිච්චි කරන ලදී. නමුත් මෙහිදී තාක්ෂණික හේතු මත එක වෙනසක් කරන ලදී. මෙයින් % සලකුණ ටයිප් කරන විට ඒ සඳහා දකුණු Alt යතුර සමඟ "/" යතුර එබිය යුතුය. මෙය මෙසේ නොකිරීමට හැකි වුවත් එවිට ඒ වෙනුවට Shift යතුරු  දෙක අක්‍රීය කර ඒවායින් වන කාර්යය මෙම මෘදුකාංගයෙන්ම වනලෙස මෙය දියුණුකල යුතුය.

   සිංහල යුනිකේත යතුරුකරණයේදී එයට සිංහල ඉලක්කම් ටයිප් කිරීමේ හැකියාවද එක්කරන ලදී. නමුත් සිංහල ඉලක්කම් අඩංගු අකුරු මෝස්තර දැනට නැති නිසා මෙම ඉලක්කම් දැනට දැකගත නොහැක. ඉදිරියේදී එය විසඳේ යැයි සිතමි. සිංහල ඉලක්කම් යතුරු කරණය සඳහා දකුණු Alt යතුර සමඟ අවශ්‍ය ඉලක්කම ඔබන්න. මේ සඳහා යතුරු පුවරුවේ Number Pad කොටස භාවිතා නොකරන්න.
    මෙයට අමතරව Alt යතුර සමඟ "/" යතුර එබීමෙන් "÷" සලකුණ ටයිප් කල හැක.

 මෙම මෘදුකාංගයේ චිත්‍රක අතුරු මුහුණත ද දියුණු කරණ ලදී. ඒ අනුව දැන් මෙය system tray කොටසට හකුළුවා දැමිය හැක ඒ සඳහා පහලින් ඇති බොත්තම ඔබන්න.

මෙම මෘදුකාංගය වැඩිදුරටත් සංවර්ධනය කිරීමට ඕනෑම අයෙකුට අවසරය ඇත!.

Thursday, December 1, 2016

සිව්මානය (4D).


  අප ජිවත්වන විශ්වය ත්‍රිමාන එකකි. එනම් මේ විශ්වයේ යම් වස්තුවක පිහිටීම එකිනෙකට ස්වාධීන අගයයන් තුනකින් එනම් ඛණ්ඩාංක 3කින් නිරූපනය කල හැක.

  අප විශ්වය මීට වැඩි මාන ගණනකින් යුක්ත නම් කුමක් වේද?

  උදාහරණයක් ලෙස විශ්වය සිවුමාන වූයේනම් කුමක් වේද?

  අප විශ්වයේ චුම්බක, විද්‍යුත්,ගුරුත්ව ක්ශේත්‍ර තීව්‍රතා සහ ශක්ති ප්‍රභවයකින් නිකුත්වන විකිරණ තීව්‍රතාව ආදිය සඳහා ප්‍රතිලෝම වර්ග නියමය බලපායි.

  උදාහරණයකින් දැක්වුවහොත්, සූර්යයා සහ පෘථිවිය අතර දුර දෙගුන කලහොත් ඒවා අතර ගුරුත්ව බලය 4න් එකක් දක්වා අඩුවේ. සූර්යයා සහ පෘථිවිය අතර දුර තෙගුන කලහොත් ඒවා අතර ගුරුත්ව බලය 9න් එකක් දක්වා අඩුවේ. සූර්යයා සහ පෘථිවිය අතර දුර අඩක් කලහොත් ඒවා අතර ගුරුත්ව බලය 4 ගුණයකින් වැඩිවේ.

  මෙසේ වීමට හේතුව අප විශ්වයේ ඇති ත්‍රිමාණ ස්වභාවයයි.

  විශ්වය සිවුමාන වූයේනම් මෙම ප්‍රතිලෝම වර්ග නියමය ප්‍රතිලෝම ඝන නියමයක් වනු ඇත. එනම් සූර්යයා සහ පෘථිවිය අතර දුර දෙගුන කලහොත් ඒවා අතර ගුරුත්ව බලය 8න් එකක් දක්වා අඩුවේ. සූර්යයා සහ පෘථිවිය අතර දුර තෙගුන කලහොත් ඒවා අතර ගුරුත්ව බලය 27න් එකක් දක්වා අඩුවේ.

  ගුරුත්වයට අමතරව මෙය ආලෝක/ තාප තීව්‍රතාවයන්ටද බලපාන බැවින් සූර්යයා වටා ඇති ජීවයට හිතකර කලාපය පටුවීම සිදුවේ. එසේම මෙවැනි විශ්වයක ග්‍රහ වස්තු වලට ඉලිප්සාකාර කක්ෂවල ගමන්කල නොහැක. ඒවාට පරිපූර්ණ වෘත්තාකාර කක්ෂවල ස්ථාවරව ගමන්කලහැකි අතර, බාහිර ගුරුත්ව බලයක් යෙදුනහොත් සර්පිලාකාර කක්ෂයක් ඔස්සේ ගමන්කර හිරු මතට කඩා වැටීමට හෝ ඈත විශ්වයට ගසාගෙනයාම සිදුවේ. එනිසාම මෙවැනි විශ්වයක හුදකලා යෝධ තාරුකා සහ කළුකුහර බහුලව පවතිනු ඇත.

  සිවුමාන විශ්වයක මූලද්‍රව්‍යවල රසායනික ගුණද ත්‍රිමාන විශ්වයකදීට වඩා වෙනස් වනු ඇත. එහිදී මූලද්‍රව්‍ය පරමාණුවල p කාක්ෂික 3ක් වෙනුවට 4ක්ද, d කාක්ෂික 5ක් වෙනුවට 12ක්ද පවතිනු ඇත. මෙහි ප්‍රතිඵලයක් ලෙස මූලද්‍රව්‍ය බහුතරයක් ලෝහ සහ නිෂ්ක්‍රීය වායු වනු ඇත. එවැනි විශ්වයක ජීවයට අවශ්‍ය අලෝහ වර්ග හිඟවනු ඇත.

  එමනිසා සිවුමාන විශ්වයක ජීවය බිහිවීම මෙන්ම එය පරිනාමය වීමද අති දුෂ්කර වනු ඇත.

 අප විශ්වය ත්‍රිමාන වූයේ අහම්බෙන්ද? නැතිනම්??????????????? :)


Wednesday, November 30, 2016

KEYMAN 2016 වැඩිදියුණු කිරීම්

http://anthoniyo-bahijata.blogspot.com/2016/11/keyman-2016.html

 

 

download source


download EXE

 

හි සඳහන් මාගේ මෘදුකාංගය තවදුරටත් දියුණුකර ඇති අතර දැන් එයින් සිංහල ඉලක්කම්ද ටයිප් කල හැක. ඒ සඳහා දකුණු පස Alt ඔබාගෙන අවශ්‍ය අංකය ටයිප් කරන්න. (නමුත් මේ සඳහා යතුරු පුවරුවේ number pad කොටස පාවිච්චි නොකරන්න.)

කෙසේ වෙතත් තවමත් සිංහල ඉලක්කම් වලට අකුරු මෝස්තර සාදා නැති නිසා ඔබට සිංහල ඉලක්කම් වෙනුවට කොටු හෝ හිස්තැන් දිස්වනු ඇත.


Tuesday, November 29, 2016

මගේ මෘදුකාංගයක් KEYMAN 2016

download source


download EXE




  මෙය සිංහල යුනිකේත වලින් ටයිප් කිරීමට තැනුවකි.

 මෙම ලිපිය ටයිප් කරනුයේද මෙම මෘදුකාංගයෙනි. 

මෙය තවදුරටත් දියුණු කිරීමට බලාපොරොත්තු වෙමි. විශේෂයින්ම මෙයින් බැඳි අකුරු ටයිප්කිරීමේ කොටස තවදුරටත් දියුණුකල යුතුය.

  මෙය ඕනෑම කෙනෙකුට පාවිච්චි කිරීමටත් සංවර්ධනය කිරීමටත් අවසර ඇත.

පාවිච්චි කරන අන්දම:

මුලින්ම මෘදුකාංගය ක්‍රියාත්මක කරන්න.

සිංහල ටයිප් කලයුතුවිට එහි "සක්‍රීය" අයිතමය ක්ලික් කරන්න.

ඉංග්‍රීසි ටයිප් කලයුතුවිට එහි "අක්‍රීය" අයිතමය ක්ලික් කරන්න. 

 

මෙය windows10 මත notepad, wordpad මෘදුකාංග සමඟ සාර්ථකව පරීක්ෂාකර ඇත.

ඔබගේ යෝජනා අගයකර සලකමි.


Tuesday, November 8, 2016

මගේ මෘදුකාංගයක්! pinterest_file_compare UPDATE

මෙය මා කලින් සාදනලද මෘදුකාංගයක වැඩිදියුනු කිරීමක් වේ.


DOWNLOAD


DOWNLOAD SRC



මෙහි ක්‍රියාකාරීත්වය කලින් එකට සමාන වන අතර, පරිගනකයේ ෆෝල්ඩර 2ක ඇති එකම එකම නමින් යුත් පින්තූර එනට නිරීක්ෂණයකර අනවශ්‍ය එක මකා දැමීමට මෙය යොදා ගනි.

මෙහි අතුරුවත (graphycal interface) වැඩිදියුනුකර ඇත.

එසේම මෙම මෘදුකාංගය ක්‍රියාකරවන විට අවසන්වරට විවෘතකල ෆෝල්ඩර සමඟ ස්වයංක්‍රීයව සම්බන්ධ වේ.

මෙහි කේතය අවශ්‍ය පරිදි සංස්කරනයට ඕනෑම අයෙකුට අවසර ඇත.

මෙය යොදාගෙන PDF, world document ආදියත් මේ ආකාරයටම සංසන්දනය කලහැකි ලෙස මෙය වැඩිදියුනු කල හැක.


Friday, October 28, 2016

පාරවල් මර උගුල් කිරීම!!

  පසුගිය දිනෙක මා ඉදිකරන නිවෙස පිළිබඳ උපදෙසක් ගැනීමට බාස් කෙනෙකු මුනගැසීමට ඔහුගේ නිවසට ගියවිට, එහි යෑමට තිබූ මාර්ගය දැක මෙය ලිවීමට සිත්විය.

  පසුගිය රජය සමයේ අතුරුමාවත් කොන්ක්‍රීට් කිරීමේ ව්‍යාපෘති දියත් කෙරින. මුලදී මෙම කටයුතු විධිමත් ලෙස කෙරුනත් පසුව අවිධිමත් ලෙස අඩිපාරවල් පවා කොන්ක්‍රීට් කෙරිණ.

  මෙසේ වීම තනිකරම දේශපාලනයේ සහ නිලධාරීන්ගේ වරදක්ම යැයි සඳහන් කිරීමට ඉක්මන් නොවෙමි. මෙම කොන්ක්‍රීට් කිරීම් බහුතරයක් ජනතා ඉල්ලීම් මත සිදුවූ ඒවා බැවිනි. එසේ වුවත් නිසි පරිදි ඉංජිනේරු සහතිකයක් නැතිව කොන්ක්‍රීට් කිරීම වරදකි.

  අප ගමේද මෙවැනි පාරවල් කිහිපයක්ම ඇත. මේවා වංගු සහිත අතර සමහර ස්ථාන අංශක 50කටත් වඩා බෑවුම් සහිතබව පෙනී යයි. පාරවල් තනා ඇත්තේ කොන්ක්‍රීට් පොම්ප කර කටු සිමෙන්ති මතුපිටක් සෑදෙන ලෙස සවල් වලින් මට්ටම් කිරීමෙන් බව පෙනීයයි.

  දැනට මේවායින් අනතුරු සිදුවී නැතත්. ඉදිරියේදී සිමෙන්ති මතුපිට ඔපවැටී දියසෙවල බැඳී ලිස්සනසුළු තත්වයට පත්වූ පසු මර උගුල් බවට පත්වීම නිසැකය.

  එහිදී ලිස්සා යාමෙන් වන අනතුරු වලට අමතරව. ප්‍රධාන මාර්ගයට ලිස්සා ගොස් පසුව වාහන වලට යටවීමද සිදුවිය හැක. විශේෂයෙන්ම ගැබිනි ස්ත්‍රීන්ට සහ කුඩා දරුවන්ට මෙය මාරක විය හැක.

මෙම අනතුරුදායක බව අඩුකිරීම සඳහා,

1. පඩිපෙල සැකසීම.

2.අත්වැල් යෙදීම. සහ හැකිනම් බෑවුම් අඩුවන ලෙස අතුරුමාර්ග ප්‍රතිසංවිධානය කර. අනතුරුදායක මාර්ග වසා දැමීම සුදුසුය.


Monday, August 1, 2016

මෙගා ටෙලිනාට්‍යය vs කුඩා මනස

    

පාසල් වියේදී යහළුවෙකු මට ගණිත ගැටළුවක් (තේරවිල්ලක්) ඉදිරිපත් කරන ලදී. එයට විසඳුම හිතාගැනීමට නොහැකිව තටමනවිට ඔහු අපූරු අදහසක් පැවසුවේය.

    මේ ගැටළුව හදපු කෙනත් මනුශ්‍යයෙක්. ඔහු මේකට උත්තරයකුත් අරගෙන තියෙනවා. මේක හිතලා කරන්න ඕන දෙයක් බව පැහැදිලියි. එහෙනම් එක මනුශ්‍යයෙක්ට පුළුවන් දෙයක් වෙන මනුශ්‍යයෙක්ටත් බැරිවෙන්න විදියක් නෑ.

    මෙගා ටෙලිනාට්‍යයක් රසවිඳිමේදීත් ඉහත සඳහන් තත්වයේම විලෝමය ක්‍රියාත්මක වෙයි. එනම් මෙගා ටෙලිනාට්‍යයක අධ්‍යක්ෂකවරයා, තිරනාටක රචකයා සහ සංගීත අධ්‍යක්ෂකවරයාද මනුෂ්‍යයන්ම වෙති. එසේම ටෙලිනාට්‍යය රසවිඳින්නාද තවත් මනුශ්‍යයෙක්ම වේ. මිනිස් මනසකට එකවර ග්‍රහණය කරගත හැකි සංකල්ප ප්‍රමානයේ සීමාවක් පවතී. පරිගණක තාක්ෂණයේ යෙදෙන වචනයක් යොදාගතහොත් මොලයේ RAM (random access memory) ප්‍රමානය අපිරිමිත නොවේ. පුද්ගලයාගෙන් පුද්ගලයාට මෙන්ම අවස්ථාව අනුවද මෙහි ප්‍රමණය විචලනය වන  නමුත් එය ආසන්න වශයෙන් සමානයැයි උපකල්පනය කල හැක. පුද්ගලයන් කිහිපදෙනෙක් එකතුවී හවුලේ යම් කටයුත්තක් කරනවිට එම රැම් ප්‍රමානයද උපරිමලෙස ප්‍රයෝජනයට ගත නොහැකි වේ.

    දැන් කොටස් 1000ක පමණ ටෙලි නාට්‍යයක් සලකමු. මෙහිදී අධ්‍යක්ෂකවරයාට මෙන්ම පිටපත් රචකයාටද, සංගීත අධ්‍යක්ෂකවරයාටද කතාව සමස්තයක් ලෙස දැකීමට නොහැකිය. එහි ප්‍රතිඵලය වන්නේ කතාව අඛණ්ඩව ගලායෑමට බාධා වීමය. තේරෙන බාසාවෙන් කිවහොත් පීලි පැනීමයි. මෙම ගැටළුවට මනුශ්‍ය සීමාව තුල සිටිමින් කලහැකි පිළියම වනුයේ කතාවට රාමුවක් තැනීමය. එනම් මනුශ්‍ය රැම් ධාරිතාවට ගැලපෙන ප්‍රමාණයේ මූලික කතා ආකෘතියක් සාදා. ඉන්පසු මනුශ්‍ය රැම් ධාරිතාවට ගැලපෙන කොටස බගින් ගෙන එම ආකෘතිය පිරවීමයි. දැනට විකාශනයවන චීන, ජපන්, කොරියනු මෙගා ටෙලිනාට්‍ය මෙම උපක්‍රමය අනුගමනය කරනබව පෙනේ. මුල්කාලයේ නැරඹු ඉන්දියානු කතාවලත් (ඉන්දියානු මේවනවිටඉන්දියානු ටෙලිනාට්‍ය නැරඹීම අතහැර බොහෝ කලක් ගතවී ඇත) සිංහල ටෙලිනාට්‍යවලත් පීලි පැනීම දැක ඇත්තෙමි.

    කෙසේ වෙතත් එවිට සෑදෙනුයේ අඛන්ඩ වියමනක් නොව ෆ්‍රැක්ටල් නිර්මානයකි. අධ්‍යක්ෂකවරයාගේ දක්ෂකම මත මෙය තනි වියමනක් ලෙස පෙනෙනලෙස ඉදිරිපත් කල හැකි වුවත් එය මවා පෑමකි.

    මෙහි තවත් පැත්තක් තිබේ එනම් නිර්මානයේ රසිකයාද එවැනිම තවත් මනුශ්‍යයෙකුම වීමයි. ඔහුටද නිර්මාණය තනි ඒකකයක් ලෙස විඳිය නොහැක. ඔහුටත් කලහැක්කේ ටෙලිනාට්‍යයේ කොටස බැගින් රසවිඳීමටත්. එක් එක් කොටසේ සාරාංශ එක්කර ආකෘතියක් තනා එය රසවිඳීමට පමණි. එනම් නිර්මාණකරුවා කල දෙයෙහි ප්‍රතිලෝමය කිරීමටය.

    මෙම තත්වය කිසිවකුගේ වරදකින් සිදුවන්නක් නොව රැම් අඩුවීම නිසා වන්නකි. මෙයට සමාන තත්වයක් ටෙලිනාට්‍ය වලට අමතරව සියළු මිනිස් නිර්මාණවල දැකිය හැක.

    උදාහරණයක් ලෙස සංකීර්ණ ගෘහ නිර්මාණ සැලැස්මක්, නව නගර සැලැස්මක්, ඉලෙක්ට්‍රොනික පරිපථයක්, පරිගණක මෘදුකාංගයක්, යන්ත්‍රයක් වැනි දෙයක පවා සැලසුමේ ඇත්තේ මෙවැනිම ෆ්‍රැක්ටල් රටාවන් නොවේද? එවැන්නක් තනි වියමනක් ලෙස නිමකලේ නම් සමහරවිට වඩා කාර්යක්ෂම විය හැකිවුවත් එවිට එය වටහා ගැනීම සහ දෝශ නිවැරදි කිරීම අපහසුවේ. අධ්‍යාපනයේදී සිදුවන්නේ මෙම මූලික රටා ගොඩනැගීම ගැන දැනුවත් කිරීමයි.

    මෙම තත්වයට ඇති විසඳුම වන්නේ මොළවැස්ම (brain cap) වැනි උපකරණයක් හරහා මිනිසාගේ බුද්ධි ප්‍රමාණය මනුශ්‍ය සීමාවෙන් එහාට ගෙනයාම පමණි