Saturday, February 7, 2015

"සැබෑ"+ නිදහස

මෙම ලිපියේ අරමුණ ශ්‍රී ලංකාවේ නිදහස් දිනය ගැන ලිවීම නොව, අනාත්මවාදය ගැන මගේ මතය ඉදිරිපත් කිරීමයි.
අනාත්ම වාදය නම් සංකල්පය බෞද්ධයන් විසින් පමණට වඩා සංකීර්ණ කරගෙන ඇත. බොහෝ විට මෙය සාමාන්‍ය ජීවිතයට අදාල නොවන දාර්ශණික සංවාද වලට සීමා වූ දෙයක් වී ඇති අතර, ඊටත් වඩා මෙය වචන හරඹයක් බවට පත්වී ඇති බවද පෙනෙයි උදාහරණයක් ලෙස පුනරුප්පත්තිය, පුනර්භවය වචන දෙක අල්ලාගෙන වාද කිරීම දැක්විය හැක.
මෙම තත්වය නිසා විශේෂයෙන් අන්‍යාගමිකයන් අතර බුදුදහම හාස්‍යයට ලක්වීමටද ඉඩක් ඇත. ඒ නැතත් අනාත්මවාදය කිසිවෙකුට නොතේරෙන මහාප්‍රාණයක් වීම බුදුදහමට හිතකර තත්වයක් නොවේ.
    අනාත්ම වාදය ප්‍රායෝගිකව එදිනෙදා ජීවිතයට අදාල කරගත හැකි පරිදි අර්ථ දැක්වීමට හැකිද යන්න මෙම ලිපියෙන් සාකච්ඡා කරමි. මෙය අනාත්මවාදයට දියහැකි එක් අර්ථ දැක්වීමක් බව සිහිතබාගන්න.
    ලිපියේ මාතෘකාව සලකා බලමු, නිදහස් දිනය ආසන්න වනවිට මෙය සැබෑ නිදහසද? නැතිනම් සැබැ නිදහස කියන්නේ කුමක්ද? යන මාතෘකා ඔස්සේ සංවාද ඇතිවෙනු නිරීක්‍ෂණය කල හැක. මීට සමාන අදහස් නත්තල් දිනය ආසන්නයේදීත් අසන්නට ලැබේ එනම් "මේකද සැබෑ නත්තල" යන මාතෘකාව යටතේ පලවන ලිපියක් නත්තල් දිනට ආසන්න පුවත් පතක පල නොවෙන්නේ කලාතුරකිනි. කලකට පෙර දිවයින පුවත් පතේ සුචරිත් ගම්ලත් මහතාගේ "සති සිතු මිණි" ලිපි පෙලෙහි සැබෑ ප්‍රේමය ගැන ලිපි පළවිය.
මේ ආකාරයට  "සැබෑ නත්තල","සැබෑ නිදහස","සැබෑ ප්‍රේමය","සැබෑ ප්‍රීතිමත් පවුල් ජීවිතය","සැබෑ උගත්කම","සැබෑ සමාජවාදය", සැබෑ අරක, සැබෑ මේක ආදී වශයෙන් ගැනීම බුදු දහමට එකඟද? එසේ සැබෑ දේවල් තිබේද?  "සැබෑ නත්තල" යනු නිර්වාණයද? මේකද? සැබෑ x යනුවෙන් ප්‍රශ්න කරන්නා x තුල නොවෙනස් වන පරම දිව්‍යමය හරයක් (ආත්මයක්?) ඇතැයි විශ්වාස කරයි. සැබෑ ජීවිතයේ x යනුවෙන් හැඳින්වෙන්න තුල මෙම x හි ආත්මය නොමැතිවීම ගැන චෝදනා කරයි. නමුත් x හි ආත්මය කුමක්දැයි එසේ චෝදනා කරන්නා වුව නොදනී. අවසානයේ මෙම අවුල නිසාම දුකට පත්වේ. මෙය ආත්මවාදය විනා අන් කවරක්ද? මෙවැනි ලෞකික දේවල "සැබෑ" දෙය සෙවීම ගෝවා ගෙඩියක් හෝ ළූනු ගෙඩියක පත්‍ර එකින් එක ඉවත්කර හරයක් සෙවීමට සමානය.
මෙයින් අදහස් වන්නේ බෞද්ධයා  "නත්තල","නිදහස","ප්‍රේමය","ප්‍රීතිමත් පවුල් ජීවිතය","උගත්කම","සමාජවාදය" යනාදිය බැහැරකල යුතු බව නොවේ. එයතුල පරම උත්තරීතර අන්තයක් ඇත යන මිත්‍යාව බැහැරකල යුතු බවයි. යම් දෙයක "සැබෑ" යනුවෙන් හරයක් ඇතැයි සිතා එය ලඟා කරගැනීමට වෑයම් කිරීමෙන් ප්‍රයෝජනවත් අතුරුඵල ලැබෙන බව නම් සත්‍යයකි නමුත් මගේ මතය නම් නොපෙනෙන ඉලක්කයක් කරා හඹා යාම වෙනුවට තේරෙන ඉලක්කයක තනාගෙන ඒ වතට යාමට තැත්කිරීමෙන්ද ඉහත දැක්වූ යහඵලම ලඟාකරගත හැකි බවයි.