Tuesday, December 6, 2016

KEYMAN2016. සිංහල යතුරුකරන මෘදුකාංගය.



මෙය ක්‍රියාත්මක කිරීමට .net framework 4 හෝ ඉහල සංස්කරණයක් අවශ්‍ය විය හැක (Windows 10 සඳහා මෙම තත්වය බල නොපායි)

      මා තැනූ මෙම මෘදුකාංගයට ඉහල ප්‍රාඨක ප්‍රතිචාරයක් ලැබුණු නිසා එය තවදුරටත් දියුණු කලෙමි. ඒ අනුව මෙයට FM-Abhaya අකුරු මෝස්තරයට අනුව සැකසූ අකුරු යතුරුකරණය කිරීමේ හැකියාවද එක්කරන ලදී. එසේම මෙහි අඩුපාඩුද හැකිතරම් නිවැරදි කරන ලදී.
 
   FM-Abhaya අකුරු  යතුරු කරණයේදිද යුනිකේත විජයසේකර යතුරු පුවරු ආකෘතියම පාවිච්චි කරන ලදී. නමුත් මෙහිදී තාක්ෂණික හේතු මත එක වෙනසක් කරන ලදී. මෙයින් % සලකුණ ටයිප් කරන විට ඒ සඳහා දකුණු Alt යතුර සමඟ "/" යතුර එබිය යුතුය. මෙය මෙසේ නොකිරීමට හැකි වුවත් එවිට ඒ වෙනුවට Shift යතුරු  දෙක අක්‍රීය කර ඒවායින් වන කාර්යය මෙම මෘදුකාංගයෙන්ම වනලෙස මෙය දියුණුකල යුතුය.

   සිංහල යුනිකේත යතුරුකරණයේදී එයට සිංහල ඉලක්කම් ටයිප් කිරීමේ හැකියාවද එක්කරන ලදී. නමුත් සිංහල ඉලක්කම් අඩංගු අකුරු මෝස්තර දැනට නැති නිසා මෙම ඉලක්කම් දැනට දැකගත නොහැක. ඉදිරියේදී එය විසඳේ යැයි සිතමි. සිංහල ඉලක්කම් යතුරු කරණය සඳහා දකුණු Alt යතුර සමඟ අවශ්‍ය ඉලක්කම ඔබන්න. මේ සඳහා යතුරු පුවරුවේ Number Pad කොටස භාවිතා නොකරන්න.
    මෙයට අමතරව Alt යතුර සමඟ "/" යතුර එබීමෙන් "÷" සලකුණ ටයිප් කල හැක.

 මෙම මෘදුකාංගයේ චිත්‍රක අතුරු මුහුණත ද දියුණු කරණ ලදී. ඒ අනුව දැන් මෙය system tray කොටසට හකුළුවා දැමිය හැක ඒ සඳහා පහලින් ඇති බොත්තම ඔබන්න.

මෙම මෘදුකාංගය වැඩිදුරටත් සංවර්ධනය කිරීමට ඕනෑම අයෙකුට අවසරය ඇත!.

Thursday, December 1, 2016

සිව්මානය (4D).


  අප ජිවත්වන විශ්වය ත්‍රිමාන එකකි. එනම් මේ විශ්වයේ යම් වස්තුවක පිහිටීම එකිනෙකට ස්වාධීන අගයයන් තුනකින් එනම් ඛණ්ඩාංක 3කින් නිරූපනය කල හැක.

  අප විශ්වය මීට වැඩි මාන ගණනකින් යුක්ත නම් කුමක් වේද?

  උදාහරණයක් ලෙස විශ්වය සිවුමාන වූයේනම් කුමක් වේද?

  අප විශ්වයේ චුම්බක, විද්‍යුත්,ගුරුත්ව ක්ශේත්‍ර තීව්‍රතා සහ ශක්ති ප්‍රභවයකින් නිකුත්වන විකිරණ තීව්‍රතාව ආදිය සඳහා ප්‍රතිලෝම වර්ග නියමය බලපායි.

  උදාහරණයකින් දැක්වුවහොත්, සූර්යයා සහ පෘථිවිය අතර දුර දෙගුන කලහොත් ඒවා අතර ගුරුත්ව බලය 4න් එකක් දක්වා අඩුවේ. සූර්යයා සහ පෘථිවිය අතර දුර තෙගුන කලහොත් ඒවා අතර ගුරුත්ව බලය 9න් එකක් දක්වා අඩුවේ. සූර්යයා සහ පෘථිවිය අතර දුර අඩක් කලහොත් ඒවා අතර ගුරුත්ව බලය 4 ගුණයකින් වැඩිවේ.

  මෙසේ වීමට හේතුව අප විශ්වයේ ඇති ත්‍රිමාණ ස්වභාවයයි.

  විශ්වය සිවුමාන වූයේනම් මෙම ප්‍රතිලෝම වර්ග නියමය ප්‍රතිලෝම ඝන නියමයක් වනු ඇත. එනම් සූර්යයා සහ පෘථිවිය අතර දුර දෙගුන කලහොත් ඒවා අතර ගුරුත්ව බලය 8න් එකක් දක්වා අඩුවේ. සූර්යයා සහ පෘථිවිය අතර දුර තෙගුන කලහොත් ඒවා අතර ගුරුත්ව බලය 27න් එකක් දක්වා අඩුවේ.

  ගුරුත්වයට අමතරව මෙය ආලෝක/ තාප තීව්‍රතාවයන්ටද බලපාන බැවින් සූර්යයා වටා ඇති ජීවයට හිතකර කලාපය පටුවීම සිදුවේ. එසේම මෙවැනි විශ්වයක ග්‍රහ වස්තු වලට ඉලිප්සාකාර කක්ෂවල ගමන්කල නොහැක. ඒවාට පරිපූර්ණ වෘත්තාකාර කක්ෂවල ස්ථාවරව ගමන්කලහැකි අතර, බාහිර ගුරුත්ව බලයක් යෙදුනහොත් සර්පිලාකාර කක්ෂයක් ඔස්සේ ගමන්කර හිරු මතට කඩා වැටීමට හෝ ඈත විශ්වයට ගසාගෙනයාම සිදුවේ. එනිසාම මෙවැනි විශ්වයක හුදකලා යෝධ තාරුකා සහ කළුකුහර බහුලව පවතිනු ඇත.

  සිවුමාන විශ්වයක මූලද්‍රව්‍යවල රසායනික ගුණද ත්‍රිමාන විශ්වයකදීට වඩා වෙනස් වනු ඇත. එහිදී මූලද්‍රව්‍ය පරමාණුවල p කාක්ෂික 3ක් වෙනුවට 4ක්ද, d කාක්ෂික 5ක් වෙනුවට 12ක්ද පවතිනු ඇත. මෙහි ප්‍රතිඵලයක් ලෙස මූලද්‍රව්‍ය බහුතරයක් ලෝහ සහ නිෂ්ක්‍රීය වායු වනු ඇත. එවැනි විශ්වයක ජීවයට අවශ්‍ය අලෝහ වර්ග හිඟවනු ඇත.

  එමනිසා සිවුමාන විශ්වයක ජීවය බිහිවීම මෙන්ම එය පරිනාමය වීමද අති දුෂ්කර වනු ඇත.

 අප විශ්වය ත්‍රිමාන වූයේ අහම්බෙන්ද? නැතිනම්??????????????? :)