Friday, December 18, 2015

(තවමත් සාදා නැති) ගැජට්

 http://worldbeyondworld.blogspot.com/2015/12/1-new-gadgets-for-new-world-part-1.html
ලිපිය කියවීමෙන් පසු මෙය ලිවීමට සිතුනි.
අප ගැජට් ලෙස හඳුන්වන එදිනෙදා දිවිය පහසු කරවන යන්ත්‍ර සූත්‍ර සාදා ඇත්තේ බොහෝ විට ඇමරිකාව වැනි රටක සමාජය ඉලක්ක කරගෙන බව පෙනී යයි. ලංකාවේ අවශ්‍යතා වලට ගැලපෙන නමුත් තවම නිපදවා නැති යන්ත්‍ර සුත්‍ර කිහිපයක් ගැන මට සිතට නැගුනු අදහස්  ‍මෙසේ පලකරමි.
1. විදුලි හිරමනයක් සහිත බ්ලෙන්ඩරය.
තලය කරකැවිය හැකිමේස හිරමනයකට බ්ලෙන්ඩරය සවිකල හැකි ක්‍රමයක් ඇත්නම් මෙය කල හැක. මෙහිදී සම්පූර්ණ බ්ලෙන්ඩරයම පැත්තට සිටින සේ හිරමණය සමඟ සවි කිරීම හෝ ඇලගියර (bevel gear) ක්‍රමයක් යොදා ගත හැක. අවශ්‍ය විටෙක හැඩලයක් සවිකර සාමාන්‍ය අත් හිරමනයක් බවටද පත්කල හැකිවිය යුතුය.
2. ඉඳිආප්ප තම්බන යන්ත්‍රයක්.
ඇත්තටම මෙය මගේ අදහසක් නොවේ. බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පැවති නව නිපැයුම් ප්‍රදර්ශණයක් නරඹනවිට හඳුනාගත් මිතුරකු සමඟ කතාකිරීමේදී මෙවන් යන්ත්‍රයක අවශ්‍යතාව හඳුනා ගතිමි.
ඉඳිආප්ප මිරිකන යන්ත්‍ර තිබුණද, ඉඳිආප්ප තම්බන යන්ත්‍රයක් තවම සාදා නැත. ඉඳිආප්ප තම්බන අවස්ථාවල තැම්බුණ ඉඳිආප්ප ඉවත් කිරීමේදී හුමාලය ලෙස විශාල තාපයක් හානි වේ.
තාපය හානි නොවන ලෙස සැකසූ කුටියක ඉඳිආප්ප තැටි තබා හුමාල ජකනයක් මඟන් එන හුමාලය එම තැටි මතට වැදෙන ක්‍රමයක් තිබුනේ නම් මෙය කලහැක. එසේම ව්‍යාපාරයක් ලෙස ඉඳි ආප්ප සාදන්නෙක්ට ඉඳිආප්ප උනුසුම්ව තබාගැනීමටද මෙය පාවිච්චි කල හැකි විය යුතුය. නිවසේ පාවිච්චියට ඝණ අඩියක පමණ යන්ත්‍රද තිබිය යුතුය. ඉඳිආප්ප වලට අමතරව පිට්ටු, වන්ඩු ආප්ප සෑදීමටද මෙය ප්‍රයෝජනයට ගත හැකි ක්‍රමයක් ඇත්නම් වඩා සුදුසුය.
සුද්දන් නිවසේදී කේක් පුළුස්සා ගැනීමට විදුලි පෝරනු සෑදුවෝය. ජපනුන් රයිස් කුකර් සෑදුවෝය. අප තවම ඉඳිආප්ප යන්ත්‍රයක් සාදා නැතිවීම ගැන ලැජ්ජා විය යුතුය.
3. නවීන දුම් මැස්ස.
අවසාන වශයෙන් ඕනෑම පුද්ගලයෙකුට තම නිවස අළුත් වැඩියා කිරීමේදී හෝ නව නිවසක් තැනීමේදී එයට එක්කල හැකි අංගයකි. කුස්සියේ පෝරණුව තැනීමේදී ලිප් බැඳීමට වෙන්කල කවුළුවට අඩියක් පමන ඉහළින් ජනෙල් රාමුවක් සවිකර එයට හොඳින් වැසිය හැකි පියන් සවිකල යුතුය. බඩු තැම්පත් කිරීමට පෝරණුව තුල සුදුසු පරිදි තට්ටු සවිකල යුතුය. අවශ්‍යතාව අනුව මෙබඳු ජනේල කිහිපයක්  විවිධ මට්ටම්වල සෑදිය හැක. මීයන්ගෙන් වන හානි වැලකීමට ඉහඏින් හා පහළින් දැල් ගැසීම වඩා සුදුසුය.



හැකි අයෙක් මෙම නිශ්පාදන කර වෙළෙඳ පොලට ඉදිරිපත් කරතැයි බලා පොරොත්තු වෙමි.

3 comments:

  1. * ලෝකයේ අංක එකේ කුරුඳු නිෂ්පාදකයා වන ලංකාවේ කුරුඳු තැලීමට තවමත් යන්ත්‍රයක් නැති බව දන්නවාද?
    * ලෝකයේ හොඳම කජු ලෙස විරුදාවලි ලැබුවත් කජු තැලීමට ඇති යන්ත්‍ර තවමත් ඉතා අකාර්යක්‍ෂම බව දන්නවාද?
    // තේ දළු නෙලීම සහ පොල් කැඩීම ගැන කතා නොකර සිටිමි.

    ReplyDelete
  2. කුරුඳු පොලු ශීත කරණයක තැබීමෙන් කුරුඳු තැලීම පහසු වන බව අහලා විදුසර පත්තරේ තිබුනා.

    ReplyDelete
    Replies
    1. ඉතා වටිනා අදහස් හා යෝජනා ටිකක් මෙතන තියෙනවා. ඒ වගේම කණිෂ්ක ඉදිරිපත් කර ඇති අදහස් ටිකත් වටිනවා. ඇත්තටම අපේ මුතුන් මිත්තන්ට තිබුණා යැයි අප අසා ඇති නිර්මාණාත්මක යාන්ත්‍රික දැනුම ඇයි අපට නැත්තේ කියලා හිතෙනවා. අනෙක් අතට අප දැන් ජාතියක් ලෙස බොහෝ පසුගාමී තත්වයට පත්වෙලා කියලත් හිතෙනවා. අනෙක දේශීයව සිතන අපේ නව නිර්මාණකරුවන්ගේ නිර්මාණ නොසළකා හැරීමත් මෙයට හේතුවක් කියලත් හිතෙනවා.

      Delete