Friday, April 8, 2016

පෙන් ඩ්‍රයිව (pen drive) සංකල්පයේ නිර්මාතෘ.

   ඩ්‍රැකීගේ අඩවියේ පලවූ ගජබින්න ලිපි කියවීමෙන් පසු එවන් ලිපියක් ලිවීමට සිතුන බැවින් මෙය ලියමි. නමුත් මෙය කිසිසේත්ම ගජබින්නයක් නොවන පවසමි.
   එකල ජාතික රූපවාහිනියේ රොබෝ කොප් ටෙලි නාට්‍ය විකාශය කෙරිණි. එය සිංහල හඬ කැවීමක් හෝ උපසිරැසි යෙදීමකින් තොරව විකාශය කෙරුණත් මගේ මිතුරන් අතර එය සෑහෙන ජනප්‍රියත්වයක් ලබා තිබුණි. එහි මා සිතගත් අංගයක් වූයේ රොබෝ කොප් පරිගණකය සමඟ සම්බන්ධ වීමට යොදා ගන්නා 'උල'යි.

රොබෝ කොප් ගේ උල


   මම පාසල් ගියේ වෑන් රථයකය. දිනක් එහි ගිය අප පාසලේම මට වඩා බාල සිසුවෙක් විශේෂ පෑන් කීපයක් ගෙනැවිත් අපට පෙන්වූයේය. එම පෑන් තනා ඇත්තේ අත්කම්  ශිල්පියෙකු විසින් යැයි සිතමි. පෑන්වල බඳ කොටස, පැත්තක දිග සෙන්ටිමීටරක් පමණ වන සමචතුරස්‍රාකාර හරස් කඩකින් යුත් ලී කූරකිත් තනා තිබුණි. එහි මුදුනේ අර්ධ ගෝලාකාර පබළුවක් ඔබ්බවා තිබුණි. බ‍ඳේ පැති හතරේ පැත්තක දෙක බැගින් රුවිත (රොම්බස) හැඩැති කුඩා කණ්නාඩි කැබලි ඔබ්බවා තිබුණි. පෑන් බ‍ෙඳේ පහත තුඩ පිහිටි කොටස අඟල් දෙකක් පමණ දිගට රන්පැහැයෙන් කේතු හැඩයට තනා තිබිණ.
   මෙම පෑන අතට ගත්විට, එහි තුඩ පැත්ත දුටු මට රොබෝ කොප්ගේ උල සිහිවිය. එහි මුදුනේ වූ පබළුව දුටු මට අපූරු අදහසක් පහල විණ. මම එම අදහස වෑන් රියේ ගිය අනිත්වුන් සමඟ බෙදා ගත්තෙමි.
   "අපි මේ පබළුව ගලවා මෙතනට උත්තල කාචයක් සවිකරමු. ඊට යටින් රූප සංවේදකයක් සවිකරමු. ඊට පස්සේ ඇතුලේ පෑන් කූර අයින්කර දත්ත ගබඩා කරන චිප් සහ වෙනත් පරිපථ සවිකරමු. මේ රුවිත හැඩයේ කණ්නාඩි කැබලි ඉවත්කර එතැනට ස්විච් සවිකරමු. එතකොට මේක පෑනක් නෙමෙයි වීඩියෝ කැමරාවක් මේ විදියට ස්විච් එකක් ඔබාගෙන මෙයින් අවශ්‍ය දෙයක් වීඩියෝ ගතකල හැකියි" (කරන ආකාරය රඟදක්වමින් විස්තර කලෙමි.) 

   ඉන්පසු පෑන් තුඩ පෙන්වා
   "මේ රොබෝ කොප්ගේ උල, වීඩියෝව පරිගණකයකට ලබා ගැනීමට මෙයින් මේ ආකාරයට පරිගණකය ඇන්න යුතුයි." (පෑන්තුඩෙන් එය අයිතිකරුගේ හිසට ඇන්නෙමි)
"ඊට පස්සේ රොබෝ කොප් වගේ මෙහෙම කරකැවිය යුතුයි. එතකොට කොම්පියු‍ටර් එකෙන් වීඩියෝ එක පෙනෙනවා." (පෑන්තුඩ හිසට තබා තදකර කරකවා පෙන්වීමි)
   මම මෙසේ කලවිට අනෙක් අයත් එම වර්ගයේ ඉතිරි පෑන් වලින් ඒවා අයිති කරුගේ හිසට අනින්නට විය. අයිතිකරු සියළු පෑන් උදුරාගෙන,

    "කැමරා එපා පෑනක් තිබුනාම ඇති" යැයි කීවේය.

   මෙම සිදුවීම වූයේ 1996 වසරේ විය යුතුය.

   ඒ වන විටත් USB තාක්ෂණය අත්හදා බලමින් තිබුනත් එය ගත්තේ දත්ත ගෙනයන  රැහැනක් හරහා පරිගණකයට සවිකරන උපකරණ සඳහාය. (https://en.wikipedia.org/wiki/USB)

   මුල්ම USB පෙන් ඩ්‍රයිවය (USB pen drive) තනා ඇත්තේ ඊස්‍රායෙල් සමාඟමක් විසින් 1999 වසරේදීය.(https://en.wikipedia.org/wiki/USB_flash_drive)

   සමහර විට පෙන් ඩ්‍රයිව් අදහස මුලින්ම පැමිණියේ මගේ හිතට විය හැක. ☺


3 comments:

  1. වෙන්න පුළුවන්....සමහර වෙලාවට අපිට හිතෙන දේවල් අපි එලියට දාන්න බයයි අවට සමාජය අපිව පිස්සො කියලා හිතයි කියලා... ඒත් ඒ නව සිතුවිලිම තමා ලෝකය ඉදිරිය්ට අරගෙන යන්නේ.. මුලින්ම බයිසිකලේ හදලා පැදපු කෙනාටත් මිනිස්සු පිස්සෙක් කිව්වා කියලා මම පොඩි කාලේ කියවලා තිබුනා...

    ReplyDelete
  2. හොඳ අදහසක් තමා. මට මතක් උනේ, අපිට පෙන් එකක් ඉස්සෙල්ලම ඖනෙ උනේ නෝටන් ඇන්ටිවෛරස් එකේ අප්ඩේට් එක ගෙදර ගෙනියන්නයි. මුලිං මුලිං ඒක ඩිස්කට් පහකට ගෙනියන්ඩ පුළුවන් කම තිබුණත් පස්සෙ පස්සෙ ඒක ලොකු ෆයිල් එකක් වුනා. අපෙ යාළුවෙක් ගාව තිබ්බ මෙගාබයිට් 16 ක පෙන් එකක්. ඒක තමයි මං දැකපු මුල්ම පෙන් එක, 2000 දි විතර.

    ReplyDelete
  3. මම මුලින්ම පෙන් එකක් ගත්තෙ 5000 කට බන්.ඒකත් 1ජීබී

    ReplyDelete