Friday, July 1, 2016

මහේක්ෂ පද්ධතියක් ක්වන්ටීකරණය වීම.

  

 මට ක්වන්ටම් භෞතික විද්‍යාව සම්බන්ධව ඇත්තේ එම විශය සම්බන්ධව හෝඩිපොතේ දැනුම බව කිවයුතුයි.
   ක්වන්ටම් භෞතික විද්‍යාවේදී සමහර අවස්ථාවල මනුෂ්‍ය ඉන්ද්‍රිය ගෝචර අත්දැකීම් වලට පටහැනි සිදුවීම් සිදුවනබව පිලිගනියි. උදාහරණයක් ලෙස මිනිසෙක් එකවරම දොරටු දෙකකින් ශාලාවකට ඇතුළුවීම. සිරකරුවකු සිරගෙදරින් පිටතදී මුනගැසීම. යම් දෙයක් එක්තැනකින් අතුරුදහන්වී තවත් තැනකින් මතුවීම. වැනි සිදුවීම් අස්වාභාවික දේ ලෙස දැනුනත් ක්වන්ටම් භෞතික විද්‍යාවේදී අන්වීක්ෂීය පද්ධති සඳහා එය සාමාන්‍ය තත්වයක් ලෙස සලකයි.
   මට තේරෙන අන්දමට නම් මෙය ගණිතය සහ ස්වභාවධර්මය අතර ගැටුමක් ලෙස සැලකිය හැකිය.ක්වන්ටම් භෞතික විද්‍යාව තනිකර ගණිතය මත රැඳුනු විද්‍යාවකි. සම්භාව්‍ය භෞතික විද්‍යාවේදී ගණිතය පාවිච්චි වන්නේ මෙවලමක් ලෙසිනි. එනම් ගසක ගෙඩියක් කඩාගැනීමට අත දිගමදිවිට කෙක්කක් පාවිච්චි කිරීම මෙනි. නමුත් ක්වන්ටම් භෞතික විද්‍යාවේදී ගණිතය යොදාගන්නේ අතේ ඇටකටු මෙනි.
   ස්වභාවධර්මයේ සමහර සිදුවීම් නිරූපණය කිරීමට ගණිත සංකල්ප යොදාගත හැකි අතර ගණිතකර්ම මඟින් යම් නිගමනයන්ටද එලැඹිය හැක නමුත් ගණිතය ස්වභාවධර්මයේ සිදුවීම් පැහැදිලිකිරීම අරමුණුකරගත් විශයක් නොවේ.  සමහර ගණිත සංකල්ප ස්වභාවධර්මයේ නිරීක්ෂණ වලට පටහැනිවේ. උදාහරණයක් හැටියට කන්දක් මුදුනට, කුමන මාර්ගයක් ඔස්සේ ගියත් කඳු මුදුනේ උස වෙනස් නොවේ නමුත් සමහර z=f(x,y) ආකාරයේ ත්‍රිමාණ ප්‍රස්තාරවල  X-Y තලය මත වූ යම්කිසි p(x,y) ලක්ෂයක් වෙතට ලඟාවන පථය අනුව  pට අනුරූප z හි අගය වෙනස්විය හැක.

https://www.google.com/search?q=two+variable+function+Continuity+and+limit&client=firefox-b&noj=1&biw=1360&bih=638&source=lnms&sa=X&ved=0ahUKEwjplKKpw9TNAhUHKY8KHdNgB_gQ_AUIBygA&dpr=1&gfe_rd=cr&ei=ZJF3V-mTCcKJ8Qfv-r-ICA


   ක්වන්ටම් භෞතික විද්‍යාව දැඩිලෙස ගණිත සංකල්ප මත රැ‍ඳෙන නිසා මෙවැනි සංකල්ප ස්වභාවධර්මයට ආදේශවීම නිසා ඉහත සඳහන් ආකාරයේ අස්වාභාවික සිදුවිම් ක්වන්ටම් භෞතික විද්‍යාව තුල සඳහන්වෙයි.

(ඉහත දැක්වූයේ මට ක්වන්ටම් භෞතික විද්‍යාව  අවබෝධවූ තරමිනි. මේ සම්බන්ධයෙන් මීට වඩා දැනුමක් ඇති අය වෙත්නම් වැඩිවිස්තර දක්වන මෙන් ඉල්ලා සිටිමි.)
*******************
   දැන් ලිපියේ මාතෘකාවට අදාල සිදුවීම සඳහන් කරමි. මම මේ දින වල නිවසක් තනවමින් සිටිමි. මෙහි සැලසුම මගේම එකකි. ගෘහ සැලසුම් ශිල්පියා කලේ පරිගනකය ආධාරයෙන් එය ඇඳදීම පමණි.
   මට නිවස සැලසුම් කිරීමේදී වූ ප්‍රධාන ගැටළුවක් වූයේ  දිග පළල ඇඟට නොදැනීමයි. උදාහරණයක් ලෙස අඩි 12ක් දිග කාමරයක් නිදන කාමරයකට සුදුසුද? කුඩා වැඩිද? විශාල වැඩිද? යන්න ඇඟට නොදැනීම බරපතල ගැටළුවක් විය. එයට විසඳුම ලෙස මිතුරන්ගේ/ඥාතින්ගේ  නිවෙස්වලට ගොස් කාමර වල දැග පළල මැන බැලීමි.
    හොඳින් පය තැබීම සඳහා, එහි තරප්පු පෙල සඳහා අඟල් 11ක් පළල පඩි යොදාගැනීමට ස්ථිරවම තීරණය කලෙමි. තරප්පුව සඳහා යන ඉඩකඩ අඩුකරගැනීම සඳහා පඩියක උස සඳහා අඟල් 7ක් යෙදීමට තීරණය කලෙමි. නිවසේ සැලැස්ම වර්ග කිරිම යැයි දෙයක් කිරීමට වාස්තු විද්‍යා ශිල්පියෙකු වෙතට ගෙනයෑමට වැඩිහිටියන්ගෙන් උපදෙස් ලැබුනු නිසා එවැන්නෙක් වෙතට ගියෙමි. වර්ග කිරීමට අධික මුදලක් ඉල්ලූ නිසා ඔහුට බම්බු ගසා ගැනීමට කියා, එය අතහැර නැකතක් පමණක් සාදාගතිමි. කොහොමත් මම එවැනි දේ ගැන විශ්වාස නොකරන අතර ඔහුවෙත ගියේ සම්ප්‍රදායකට ගරු කිරීමක් සඳහා පමණි. වර්ගකිරීම වෙනුවට විද්‍යාත්මක උපදෙසක් ගැනීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශයේ නිවාස සැලසුම් අනුමත කිරීම භාර නිලධාරියෙක් හමුවුනෙමි. ඔහු මා හඳුණන අයෙකුගේ බෑනා කෙනෙකි.
   මට නිවාස සැලසුම සම්බන්ධව තිබුණු ප්‍රධාන දෙගිඩියාව වූයේ තරප්පු පේලියයි. යථෝක්ත නිලධාරි මහතා මට යෝජනා කලේ අඟල් 10ක් පළල අඟල් 6ක් උස පඩියක් මෙයට සුදුසු බවයි. අඟල් 7ක පඩියක් මිනිස් සිරුරට වෙහෙසකර බවයි. නමුත් එසේ වීමට හේතු පැහැදිලි හේතුවක් දැක්වීමට ඔහු අසමත්විය.
   මම මේ ගැන ගණන්හදැ බැලුවෙමි. මෙහිදී පඩිපෙල ආනතතලයක් බවට උපකල්පනය කලෙමි.
අඟල් 10ක් පළල 6ක් උස පඩි සහිත තරප්පු පෙලක ආනතිය 6÷10=0.6කි
අඟල් 11ක් දිග 7ක් උස සහිත පඩි අඩංගු තරප්පුවක ආනතිය 7÷11=0.6363....
   එනම් පඩිපෙල දෙකේම ඇත්තේ ආසන්න වශයෙන් එකම ආනතියකි එමනිසා අඟල් 7 පඩි යෙදීමට තිරණය කලෙමි.
   මගේ වරද අවබෝධවුනේ පඩිපෙල සාදන විටය. පඩිපෙලක් නැගීම සහ බැසීම ආනත තලයක යෑම වැනි සංතතික චලිතයක් නොවේ. පඩි නැගිය යුත්තේ වරකට 1 බැගිනි. එය ක්වොන්ටීකරණයවූ චලිතයකි. මිනිස් සිරුරට බලපාන්නේ තරප්පුවේ ආනතිය නොව වරකට පඩියක් නඟින විට දැනෙන බලපෑමයි.  අඟල් 7ක පඩියක් නඟිනවිට  සහ බහිනවිට දනහිසට සහ උකුලට සියුම් අමතර වෙහෙසක් වෙහෙසක් දැනේ වියපත් අයෙකුට මෙය වැඩියෙන් දැනෙන බවට සැක නැත.
   පඩිපෙල අඩක් නිමකල පසු මෙය අවබෝධවූ නිසා විශාල අලාභයකින් ගැලවුනි. පඩිපෙල කඩා ඉවත්කිරීමෙන් තොරව, පඩිපෙලට ඉදිරියෙන් අඟල් 6ක් උස අමතර පඩියක් යොදා ඉතිරි පඩිවල උස පඩියකට අඟල බැගින් අඩුවනලෙස කපරාරු කිරීමෙන් මේ ගැටළුව සමහන් කරගැනීමට තීරණය කරගතිමි.
   මේ සඳහා උපදෙස් දුන් ගෘහ නිර්මාණ අධ්‍යක්‍ෂක (කොන්තරාත් කාරයා) තුමාටත්, ගෘහනිර්මාණ ශිල්පීණ්ටත් (මේසන් බාස්ලාට) කෘතඥවෙමි.
අළුතින් නිවසක් තනන්නට බලාපොරොත්තුවන අයෙක්ට මේ ලිපිය ප්‍රජෝජනවත් වෙතැයි සිතමි.

නිගමණය:-
    ක්වන්ටම් භෞතික විද්‍යාව ඉලෙක්ට්‍රෝන, ප්‍රෝටෝන වලට පමණක් නොව තරප්පු පේලිවලටත් අදාලවෙයි :D

1 comment: