Friday, April 10, 2015

සිංහල බසේ ඇති සුලබ වැරදි වදන්.

සිංහල භාෂාව තුල සුලබ ව යෙදෙන වැරදි වචන කිහිපයක් දැක්වීමට මෙයින් බලාපොරොත්තු වෙමි. මෙහි වැදගත් ම තත්වය නම් මෙතෙක් මේ ගැන නිසි සංවාදයක් ඇති නො වීමයි.

1. පර්චස්, සැන්ඩ්විචස්, සොසේජස් :- මෙම වචන ඉංග්‍රීසි බසෙන් යෙදෙන විට නිතරම බහු වචනයෙන් යෙදෙන නිසා සිංහල බසට එම වදන් එක්වීමේදී ද, බහු වචන ස්වරූපයෙන් ම එක්වී ඇත. නමුත් එම වචන ඒක වචන බවට පත් කිරීමේ දී ගැටලු ඇති වේ. ‘පර්චස්’ බහු වචනයක් නම් ඒක වචනය ‘පර්චසය’ ලෙස ගත හැකි වුවත් ‘සැන්ඩ්විච්’ හා ‘සොසේජස්’ සඳහා මෙසේ කිරීම අසාර්ථක වේ. වෙනත් බසකින් ඒක වචන පදයක් සිංහලට ගැනීමේ දී එය ඉබේටම බහු වචනයක් වන නිසා අමුතුවෙන් බහු වචන කිරීමට අවශ්‍ය නැත. මෙම වදන් සඳහා
‘පර්චස්’ වෙනුවට ‘පර්ච’
‘සැන්ඩ්විචස්’ වෙනුවට ‘සැන්ච්විච’
‘සොසේජස්’ වෙනුවට ‘සොසේජ’
ලෙස ලිවීමට හුරු වීම මඟින් මෙම ගැටලුව පහසුවෙන් විසඳේ.

2. ගියර පෙට්ටිය:- උසස් පෙල තාක්‍ෂණවේදය ඉගැන්වීමේදී ද මෙම වචනය බහුල ලෙස යෙදෙයි. මෙම වදන ‘ගියර් බොක්ස්’ යන ඉංග්‍රීසි යෙදුමේ ඍජු සිංහල පරිවර්තනය වේ. ඉංග්‍රීසියෙන් මෙම වදන පාවිච්චියට ගැනීමට හේතු වූ ඉතිහාසය කරුණු මා නො දනී. නමුත් මේ සඳහා සිංහලෙන් ‘ගියර ඒකකය’ ලෙස යෙදීම වඩාත් සුදුසු බව යෝජනා කරමි. ‘ඔර්ගනික් කෙමිස්ට්‍රි’ සඳහා ‘‍ඓන්ද්‍රීය රසායනය’ වෙනුවට ‘කාබනික රසායනය’ යන නමත් ‘ක්ලොක්වයිස්’, ‘ඇන්ටි ක්ලොක්වයිස්’ වෙනුවට ‘වාමාවර්ත’, ‘දක්ෂිණාවර්ත’ යන වඩා වියත් යෙදුම් සිංහලෙන් පාවිච්චි කෙරෙන බව සලකන්න.

3. සිංහල මාධ්‍ය සිසුන්ට දෙමළ බස ඉගැන්වීමේ දී දෙමළ වචන සිංහල හෝඩිය යොදා ලියන විට සිදු වන සුලබ වරදක් ද මෙහි සඳහන් කිරීමට කැමැත්තෙමි. සිංහල මෙන් නොව දෙමළ බසෙහි ‍ඓ, ‍ඖ අකුරු බහුලව යෙදෙයි. නමුත් දෙමළ බසෙහි බොහෝ විට ‘ඓ’ අකුර උච්චාරණය කෙරෙන්නේ ‘එඉ’ ලෙසිනි. නමුත් සිංහල අකුරු යොදා දෙමළ ලිවීමේ දී මේ වෙනස නො සලකන ආකාරය බොහෝ විට නිරීක්ෂණය කර ඇත්තෙමි. එනම්,
கை ‘කෛ’ ලෙස ලියා ඇතිමුත් එය උච්චාරණය කෙරෙන්නේ ‘කෙයි’ ලෙසය.
මීට අමතරව දෙමළ බසෙහි බොහෝ වචන වල ලියැවෙන සහ උච්චාරණය කෙරෙන ආකාර අතර වෙනස්කම් ඇත (එනම් දෙමළ යනු phonetic බසක් නොවේ). සිංහල අකුරුවලින් දෙමළ ලියද්දී මෙය නො සලකා අකුරෙන් අකුර සිංහලයට හරවන අවස්ථා බහුලය නමුත් නිවැරදි ක්‍රමය වන්නේ දෙමළ උච්චාරණය සිංහල අකුරෙන් ලිවීමයි.

4. කන්‍යා සහෝදරිය:- කන්‍යාව යන වදනට විවිධ භාෂා සහ සංස්කෘතිවල විවිධ අර්ථ දැක්වීම් ඇත. උදාහරණයක් ලෙස මා අසා ඇති අන්දමට ඉන්දියාවේ සමහර ප්‍රදේශවල ගණිකාවන් හඳුන්වන්නේ කන්‍යාවන් ලෙසයි. ලංකාවේ ජනමාධ්‍යවල සුනෙත්‍රා බණ්ඩාරණායක මෙනෙවිය, අනර්කලී මෙනෙවිය වැනි වදන් යෙදෙන විට ප්‍රේක්ෂකයන් උපහාසයෙන් සිනාසෙන අන්දම දැක ඇත්තෙමි. කන්‍යා සහෝදරිය යන වදන ලතින් වැනි බසකින් ගත් ඍජු පරිවර්තනයක් විය යුතු ය (ගියර් පෙට්ටිය වැනි), එසේ නැතිනම් ලතින් බසින් දෙමළ බසටත් එයින් සිංහලටත් පරිවර්තනය වූ වක් වීමට ද හැක (මා මේ ගැන නො දන්නා බවත් දන්නා කෙනෙක් වේ නම් මේ ගැන පැහැදිලි කරන ලෙසත් ඉල්ලා සිටිමි). කෙසේ වෙතත් මෙහි දී කන්‍යාව යන වදන යෙදීම අයෝග්‍ය බව මගේ අදහසයි.
මෙහි දී ‘කන්‍යාව’ යන වචනය යොදන්නේ ‘අනගාරික’ යන අරුතින් නිසා ‘අනගාරික සභා සේවිකාව’ යන වදන හෝ ඊට වඩා කෙටි යෙදුමක් යොදාගැනීම සුදුසු ය.

6 comments:

  1. වටිනා ලිපියක්

    ReplyDelete
  2. හොඳ ලිපියක් වගේම හිතන්න කරුණු ටිකක්.
    හැබැයි, ගියර පෙට්ටිය කැඩුවට කාරි නෑ කන්‍යා සොහොයුරියට නම් අරින්න ලෑස්ති වෙන්න එපා කියල අපි මේ මහත්තයට මතක් කරනවා. මොකද කන්‍යා සොහොයුරිය තමයි කවද හරි කන්‍යා මව්තුමියක් වෙලා ඊට පස්සේ කන්‍යා ආච්චි අම්මා තුමියක් වෙලා කන්‍යා මළමිනියක් වෙලා කවද හරි කන්‍යා උත්තානයක් ලබන්නේ.

    ReplyDelete
  3. අනගාරික ධර්මපාල තුමාට කන්‍යා ධර්මපාල කිව්වම කොහොමද?

    ReplyDelete
  4. ඇත්තටම හොඳ උත්සහයක්... එහෙත් වෙනත් බසකින් අපේ සිංහල බසට වචන ගන්නා විට, කුමන රීතියක් පිළිපැදිය යුතුදැයි කොහේවත් සඳහන්ව නැත. එනිසා විය යුතුයි සිඳත් සඟරා ගත්කරු "වෙන වෙන දෙක නිපන් තසම තබවැයි ඒ තෙබේ, කිසි අන් බසින් නුමුසු හෙලදිව පළ නිපන් නම්, මගද සකු ඈ බණ සමවූ බස තසම නම්, බිඳුනේ තබව නම් වී, විමසා දනු එහි පියෝ" කියා අවසානයේ "විමසා දනු එහි පියෝ" කියා තිබෙන්නෙත්. එක් එක් යෙදුම් වෙන වෙනම සලකා බැලිය යුතුයි.

    ඉංග්‍රිසිය හලන්ත (හල් අකුරුවලින් වචන බොහෝවිට අවසන් වන) බසකි. එහෙත් සිංහල ස්වරන්ත (ස්වරවලින් වචන සුමටම අවසන් වන) බසකි. තවද, සිංහල බසෙහි බහුවචන බොහෝවිට හලන්ත වේ. එනිසා ඉංග්‍රිසි හලන්ත වචන (ඒවා බහුවචන වුවත්, ඒකවචන වුවත්) බොහෝවිට සිංහල බසට ගැනෙන විට, තේරුම ඒක වචන කිරීමට එය ස්වරාන්ත කිරීමත්, බහුවචන කිරීමට හලන්තය රැක ගැනීමත් ඉබේම මෙන් සිදු වේ.

    උදාහරණයක් ලෙස, perches යන වචනය ඔබ කියන්නා සේම වැඩිපුරම ඉංග්‍රිසියේ වුවද බහුවචනයෙන් ඇසෙන නිසා, එම වචනය ඒකවචන තේරුමින් සිංහලයට ගැනෙන විට පර්චසය කියා ස්වරාන්ත කරනු ලබනවා. බහුවචනය සාමාන්‍ය ඉංග්‍රිසි පර්චස් කියන හලන්ත ස්වරූපය තබා ගන්නවා. මා හිතන තරමින් මෙය ඉතා හොඳ ප්‍රායෝගික ක්‍රමයකි.

    බසක මූලික වන්නේ ශබ්දයයි. වෙනත් බසක ව්‍යාකරණ රීතින් තවත් බසකට වැඩක් නැත. එනිසා ඉංග්‍රිසියේ පර්චස් යන්න බහුවචනයක් වුවත් සිංහල බසට ගැනීමේදී එය පර්ච් කියා නිවැරදි විය යුතුයි කියන එකේ වැදගත්කමක් නැත. පර්චසය යන සිංහල වචනයේ බහුවචනය පර්චස් වේ. එය සිංහල භාෂා රීතින්ට අනුකූලය.

    ReplyDelete
  5. කන්‍යා යන්නට වෙනත් භාෂාවල කුමන අර්ථකථන ඇතත් සිංහල බසේදී එහි තේරුම නිශ්චිතයි. කාන්තාවන්ට පමණක් නොව එය පිරිමින්ට වුවද යෙදිය හැකියි. අනගාරික යනු වෙනත් තේරුමක් ඇති පදයකි. එහි සාමාන්‍ය තේරුම "සාමාන්‍ය කෙනෙකු සේ ගෘහයක/අගාරයක වාසය නොකරන්නා" යනුයි. බොහෝවිට කසාදයක් බඳින්නේ නැතිව සිටී. එහෙත් එය කන්‍යාභාවයක් නොවේ මොකද ජීවිතයේ යම් කාලෙක හොඳට කාමයෙහි යෙදුණු කෙනෙකුට වුවද පසුව අනගාරික විය හැකිය.

    මෙනවිය යනු කසාද නොබැඳ සිටින කාන්තාවන්ට භාවිතා වෙන ගෞරවාන්ත ඇමතීමකි (ඊට වයස් භේදයක් නැත; ඊයෙ පෙරේදා අභාවප්‍රාප්ත වූ හිටපු ජනපති විජේතුංගගේ දියණියත් වයසට ගියත් මෙනවියක වේ).

    මා දන්නෙ නැහැ ඔබ මේ වගේ කිසි ගැටලුවක් නැතිව මෙතරම් කාලයක් තිබූ වචන ටිකක් අච්චාරුවක් කරන්නට යන්නේ ඇයිද කියා. හාහාහා...

    ReplyDelete