Thursday, June 4, 2015

බාබේරියන්!

  බන්‍ධුල ගුණවර්ධන මහතා රූපවාහිනී වැඩසටහනක දී “පක” සහ “පයිය” නම් වචන සඳහා ඇති විවිධ අර්ථ දැක්වීම් ඉදිරිපත් කරනු නැරඹුවෙමි.
  මෙසේ අදහස් දැක්වීමේ අරමුණ සමාජයේ අවධානය වෙනතකට යොමු කර වාසුදේව මහතාට එල්ල වෙන අපවාදයෙන් ඔහුව මුදවා ගැනීම බවට සැකයක් නැත.
  මේ බන්ධුල ගුණවර්ධන මහතාගේ ඇති විශේෂ දක්ෂතාවක් ලෙස සැලකිය හැක.
  එක් වරක් බඩු මිල ඉහල යාම ගැන ඇසූ විට කවුරු වත් අසා නැති වයිමෙක් ගැන පවසා අවධානය වෙනතකට යොමු කිරීමට ඔහු සමත් විය,
  තවත් වරක් ජීවන වියදම ඉහල යාම ගැන ඇසූ විට රුපියල් 2500.00 කින් මාසයක් නො මැරී සිටිය හැකි බව පවසා පසුව එය තර්කානුකූලව ඔප්පු කරන ලදී. ඒ හරහා ජීවන වියදම අමතක කරවන ලදී.
  අලුත් ම සිදුවීමේ දී බන්‍ධුල මහතා පෙන්වීමට උත්සාහ කලේ “පක” සහ “පයිය” සඳහා විවිධ අර්ථ ඇති බවත් එම නිසාම වාසුදේව මහතා පැවසුවේ අසභ්‍ය චචනයක් නොවන බවත් ය.
එම අර්ථ නම්,
පයිය: පසුම්බිය, මල්ල, වැස්ම, මඩිස්සලය, පුරුෂ ලිංගය (අසභ්‍ය)
පක: ගෙඩිය, ඵලය, පැසුණ ගෙඩිය, ගෙඩියක් වැනි ඕනෑම දෙයක්, පිහාටුව, පියාපත, ගොඩ, රාශිය,
        සතුන්ගේ  බෙට්ට, පුරුෂ ලිංගය (අසභ්‍ය)
   මීට අමතරව හුත්ත යන වදන සෑදී ඇති අන්දම මා ඇති ආකාරයට මෙසේ ය, සංස්කෘත භාෂාවෙන් සැප යන අරුත ඇති “සුඛ” නම් වදන සිංහලයට ගැනීමේ දී පැරණි සිංහල හෝඩියේ මහාප්‍රාණ අක්ෂර නැති නිසා “සුක” ලෙස පාවිච්චි කර ඇත. පසුව එය කට වහරට ඒමේ දී “හුක” වී ඇත ඒ වචනයෙන් හුත්ත සහ හුකනවා යන ක්‍රියා පදය සෑදී ඇත. මේ අනුව බන්‍ධුල මහතාගේ ක්‍රමයට අනුව “අපි එන්ජෝයි කරනවා” යනුවෙන් පැවසීම වෙනුවට “අපි හුකනවා” කීමෙහි වරදක් නැත.
  මෙහිදි බන්දුල මහතා කරන වරද නම් පක සහ පයිය සඳහා ඇති අසභ්‍ය අර්ථය හැර අන් වචන ශතවර්ෂ ගණනාවක් තිස්සේ භාවිතා නො කරන බව අමතක කිරීමයි. එසේම යම් වචනයක මුල් අර්ථය අසභ්‍ය එකක් නොවුනත් පසුකාලීන ව සම්පූර්ණයෙන්ම එයට වෙනස් අරුතක් එයට එක් විය හැක.

මේ තමයි බාබේරියන්
  එසේ මා නො දැනුවත් වම මා විසින් කියවුන කුණුහරුපයක් ගැන සඳහන් කරමි. මෙය මා විශ්ව විද්‍යාලයේ දෙවැනි වසරේ මුල් කාලයේ ඉගනුම ලබද්දී සිදුවූවකි.
  එකල මම Diablo 2 (Lord of destruction) නම් පරිගණක ක්‍රීඩාවට දැඩිව ඇබ්බැහිවී සිටියෙමි. දිනක් මගේ මිතුරෙකුට මෙම ක්‍රීඩාව අඩංගු DVD තැටිය ලබා දී එය පරිගණකයේ ස්ථාපිත කරන අන්දමත්, ක්‍රීඩාව කරන අන්දමත් හඳුන්වා දෙමින් සිටියෙමි.
  මෙහි දී කල යුත්තේ සටන් කරුවෙක් තෝරා ගෙන අමනුෂ්‍ය බලවේග සමඟ සටන් කිරීමයි. සටන් විවිධ කරුවන්ට ඔවුන්ට ආවේණික හැකියාවන් හා දුබල කම් පවතී. මෙම ක්‍රීඩාවේ මා කැමති ම චරිතය නෙක්‍රොමෑන්සර් වන නමුත් ක්‍රීඩාවට ආධුනිකයන් සඳහා වඩාන් සුදුසු බාබේරියන් චරිතය බැව් නිගමනය මා සිතූ බැවින් මිතුරාට එය හඳුන්වා දීමට තීරණය කලෙමි.
  ඒ අනුව පරිගණකයක් වෙත ගොස් අන්තර් ජාලය හරහා බාබේරියන් චරිතය යොදා ක්‍රීඩාව කරන අන්දම විස්තර කරන අන්දම පැහැදිලි කරමින් සිටියෙමි. අප සිටි පරිගණකයට යාබද පරිගණකය අසල ගැහැණු ළමුන් දෙදෙනෙක් සිටි අතර අප දෙදෙන පරිගණක තිරය දෙස ඉතා උනන්දුවෙන් බලා ගෙන මඳසිනා පාමින් “බාබේරියන්” වචනය කිහිප වරක් කියනු දැක ඔවුන් දෙදෙනා අප දෙස අප්‍රසන්න බැල්මක් හෙලා සිහින් හඬින් යම්ක් කියමින් ඉවතට ගියහ.
  ඔවුන් කියූ වදන් අපැහැදිලි වුවත් අප දෙදෙනාට යම් අභූත චෝදනාවක් නැගූ බව පෙනුනි. ඔවුන් ගිය පසු “බාබේරියන් කියන්නේ කුණුහරුපයක් ද බං?” කියා මිතුරාගෙන් ඇසුවෙමි. ඔහුට ද එයට දීමට පිළිතුරක් නොවුනි.

1 comment:

  1. බාබේරියන් යනු කුණුහරුපයක් නොවේ. එහෙත් බාබේරියන් ක්වීන් නම් කුණුහරුප චිත්තරපටියක් කලකට පෙර ලංකාවේ සිනමා හල් වල පෙන්වන ලදී. අප මෙහි පුවත්පත් දැන්වීම් පමණක් දැක ඇත. ක්වීන් යනු කුණුහරුපයක් නොවන බව ස්ථිර බැවින් බාබේරියන් යනු එවැන්නක් බව අපත් සිතා සිටි බව කීම ලැජ්ජාවට කරුණක් නොවේ. මෙහි අරුත අප දැන ගත්තේ පසුවය.

    ReplyDelete