Monday, August 24, 2015

සන්නස්ගලගේ පරාජය



පසුගිය මැතිවරණ ප්‍රතිඵල ගැන විවිධ බ්ලොග් අඩවිවල විචාර පලවිණි. මේවායේ වැඩියෙන් ම සාකච්ඡා කරන ලද්දේ ජවිපෙ ට ලැබුණ අඩු ඡන්ද ප්‍රමාණය ගැනයි. වඩාත් නිවැරදිව කිව හොත් ජවිපෙ පරාජය ගැනයි. එම නිසාම අඩුවෙන් අවධානයට ලක් වූ සන්නස්ගල මහතාගේ පරාජය ගැන විග්‍රහයක් කිරීමට බලාපොරොත්තු වෙමි. මේ පිළිබඳ මෙතෙක් විචාරයක් මා දන්නා තරමින් ලියැවී නැති නිසාත් නැවුම් මාතෘකාවක් ගැන ලිවීමට මා ප්‍රිය කරන බැවිනුත් මෙය ලියමි.



උපුල් ශාන්ත සන්නස්ගල යනු සිංහල සමාජය තුල ඉහල ප්‍රසිද්ධියක් ඇති අයෙකි.  නමුත් මෙම ප්‍රසිද්ධිය ධනාත්මක ව මෙන් ම ඍණාත්මක වද පැවතෙන බව ද සැලකිය යුතු ය. එනම් සන්නස්ගලගේ ජනප්‍රියත්වය මෙන් ම ජන-අප්‍රියත්වය ද ඉහල වේ. කෙසේ වුවත් මේ ප්‍රසිද්ධිය ආධුනික චන්ද අපේක්ෂකයෙක් ලෙස ඔහුට වාසි දායක තත්වයකි.



සන්නස්ගල මහතා මෙවර ඡන්දය ඉල්ලුවේ කොළඹ දිස්ත්‍රික්කයෙන් එක්සත් ජාතික පක්ෂයෙනි. කොළඹ දිස්ත්‍රික්කයේ  එක්සත් ජාතික පක්ෂ ඡන්ද පදනම තුල සිංහල නොවන ඡන්ද දායකයන් විශාල පිරිසක් සිටියි. ජනවාරි මස ජනපතිවරණයෙන් පසු මෙහි සිංහල ප්‍රතිශතය තරමක් වැඩි වුවද මෙම කරුණ වෙනස් වී නොමැත. එබැවින් සාමාන්‍යයෙන් කොළඹෙන් යම් එජාප අපේක්ෂකයෙකුට මනාප සටනින් ඉහල ට යාමට නම් ඔහු සිංහල මෙන් ම සිංහල නොවන ඡන්ද දායකයන් අතර ද එක සේ ජනප්‍රිය ආයකු විය යුතු ය. මෙම තත්වය වෙනස් වන අවස්ථා ද ඇත පාඨලී චම්පික රණවක මහතා එයට උදාහරණයකි. එය විශේෂ අවස්ථාවකි.



සන්නස්ගල මහතා ගැන සැලකීමේ දී ඔහු සිංහලයන් අතර ප්‍රසිද්ධ වුවත් සිංහල නොවන පුද්ගලයන් අතර එතරම් ප්‍රසිද්ධ අයෙක් නොවේ. එම නිසාම ඔහුට ලැබුණු සියලු ම මනාප සිංහල මනාප ලෙස සැලකිය හැක. මෙය කොළඹ දී අවාසිදායක තත්වයකි. මෙහි දී ඔහුට ඇති වාසිය නම් සිංහල බෞද්ධ මෙන් ම සිංහල ක්‍රිස්තියානි මනාප ද ඔහුට ලද හැකි වීමයි. (සිංහල බෞද්ධයා සහ සිංහල කිතුනුවා දේශපාලනික ව වර්ග දෙකක් ලෙස සැලකිය යුතු ය.) කොළඹ එජාපයට කැමති සිංහල ඡන්ද දායකයන් අතරත් සන්නස්ගලට ප්‍රිය සහ අප්‍රිය දෙපිරිස ම සිටින බවත් මතක තබා ගත යුතු ය. එසේම ප්‍රභාකරන්ගේ ශුක්‍රාණු ගැන කියා ඔහු, සිංහල බෞද්ධ මනාප සැලකිය යුතු ප්‍රමාණයක් අහිමි කර ගන්නා ලදී. ඔහුගේ ඡන්ද ප්‍රචාරක ව්‍යාපාරය තරුණ පිරිස ඉලක්ක කර ගෙන සිදු කිරීම ද ඔහුට අවාසි දායක විය. තරුණයන් හරහා වැඩිහිටියන් වෙත ඔහුගේ පණිවිඩය ගලා ගියේ නැත. ඔහුගේ රැඩිකල් අදහස් නිසා යම් පිරිසක් ඔහුට ආකර්ෂණය වුවත් ඊට වැඩි පිරිසක් විකර්ණය විය. මීට අමතරව සන්නස්ගල මහතාට ඔහුගේ ජනප්‍රියත්වය නිසාම, ජනතා විමුක්ති පෙරමුණට ද බලපෑ “ආඬි හත් දෙනාගේ ආචරණය” ක්‍රියාත්මක විය.



සන්නස්ගල මහතා ඉදිරියේ දීත් මැතිවරණ වලට ඉදිරිපත් වන්නේ නම් මෙම කරුණු සැලකිල්ලට ගත යුතුය. විශේෂයෙන්ම ගම්පහ බඳු සිංහල බහුතරයකින් යුත් එජාප ඡන්ද පදනමක් සහිත ප්‍රදේශයකින් ඉල්ලුවා නම් ඔහුට වැඩි මනාප ප්‍රතිශතයක් ලබාගත් හැකි ව තිබුණි.



සන්නස්ගල මහතාට සිංහල නොවන මනාප නො ලැබීමට හේතුව ඔහු සිංහල වර්ගවාදියෙක් වීම නොවන බවත් මෙහි දී මතක් කල යුතු ය. මීට පෙර වික්‍රමබාහු කරුණාරත්න මහතා මනෝ ගනේෂන්ගේ පක්ෂය සමඟ සංධාන ගතවී මැතිවරණයකට ඉදිරිපත් වී පරාජය විය. ජවිපෙ ද සිංහල නොවන්නන් අතර ජනප්‍රිය පක්ෂයක් නොවේ.



අනිත් අතට රනිල් යනු ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් ඇරඹුණු පසු ලංකාවේ බිහි වූ දරුණු ම ඒකාධිපතියා බවත් මතක තබා ගත යුතුයි. යම් හෙයකින් සන්නස්ගල මහතාට මන්ත්‍රී ධුරයක් ලැබුණේ නම් ඉදිරි කාලයේ දී රනිල් සමඟ මත ගැටුම් ඇති කර ගෙන විපක්ෂයේ වාඩි වීම හෝ රනිල්ගේ කීකරු බල්ලෙක් වීම සිදුවිය හැක. ඊට වඩා මේ පරාජය හොඳද?

No comments:

Post a Comment